සිංහරාජයේ අවසන් පුරුක් 02 ක ආරක්ෂිතයි (විඩියෝ)

ජන 22, 2019
  • සිංහරාජ, ලෝක උරුම වනභූමිය ආශ්‍රිතව වෙසෙන වන අලීන් දෙදෙනාගෙන් එක් අලියෙකු අතුරුදන් බවට පළවූ වාර්තා අසත්‍ය බව, තහවුරු වී තිබෙනවා.

    ප්‍රදේශවාසීන් සහ වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ද මේ බව තහවුරු කළා. මාස කිහිපයක් තිස්සේ මිනිස් ඇසින් ඈත්ව සිටි සිංහරාජයේ වන අලි දෙදෙනාගෙන් අයෙකු මේ දිනවල යළිත් රක්වාන, පොතුපිටිය මාර්ගයේ තුනේ කණුව ආශ්‍රිත ප්‍රදේශයේ දී දකින්නට ලැබෙනවා.

    අනෙක් අලියා තවමත් මාර්ගය ආශ්‍රිතව දක්නට නැතත්, වනාන්තරයේ රැඳී සිටින බවටයි, සත්වයා නිරීක්‍ෂණය වූ පිරිස් අප හා ප්‍රකාශ කළේ. අලි දෙදෙනා යළිත් ගම්මාන ආශ්‍රිතව සැරිසරන බව වාර්තාවීම රක්වාන-කලවාන මාර්ගයේ ඇතැම් ප්‍රදේශවල ජනතාව තැතිගන්වන ආරංචියක්.

    මේ නිසා සවස 5.00න් පසු යතුරුපැදි හා කුඩා වාහන ගමනාගමනය සිදු නොවන තරම්. රාත්‍රී කාලයේ මාර්ගය දිගේ ඇවිද යන වන අලියා, ඉකුත් වසරේ කජුගස්වත්ත ප්‍රදේශයේ ගෙවත්තක දී සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු ජිවිතක්‍ෂයට පත්වුණා.

    සෑම වසරකම දෙසැම්බර් හා ජනවාරි ආශ්‍රිත කාල සීමාවේ සූරියකන්ද හා හඳපාන්ඇල්ල රක්‍ෂිත ප්‍රදේශවලින් රක්වාන මාර්ගය ආසන්නයට පැමිණෙන වන අලි දෙදෙනා මාණික්කවත්ත ප්‍රදේශයෙන් වලංකන්ද රක්‍ෂිතයට ඇතුළු වනවා.

    කුලෑටි සතුන් ලෙස සැලකෙන අලි දෙදෙනාගේ චර්යා වෙනසකට ලක් වන්නේ, මාර්තු මාසය පසු වූ විටයි. වන අලි, වලංකන්ද ආශ්‍රිතව රැඳී සිටින අවස්ථාවලදී යාබද තේ වතුවල දළු නෙළීම සිදු කෙරෙන්නේ ද ගම්වාසීන් තුළ වන අලි කෙරෙහි දැඩි බියක් නොමැතිවීම හේතුවෙන්. මාර්තු මාසය පසුවත්ම, රජවත්ත, කෝපිකෑල්ල, කජුගස්වත්ත ඔස්සේ ඇතැම්විට සිංහරාජ ප්‍රවේශ ගේට්ටුව ආසන්නය දක්වා ද වන අලි දෙදෙනා ඇවිද යනවා. ඇතැම් ගම්වාසීන් පවසන්නේ, තරමක් ප්‍රචණ්ඩ ස්වභාවයක් පෙන්නුම් කළත්, අලින්ගෙන් හානියක් නොමැති බවයි.

    වාර්ෂිකව එකිනෙකාගෙන් වෙන්වී මාස කිහිපයක ඇවෑමෙන් යළි හමුවන මෙම අලි දෙදෙනා, ඉකුත් වසරේ එකිනෙකාට මුණගැසී ඇත්තේ, පෙබරවාරි 10 වැනිදායි. වනජිවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ අලි දෙදෙනා සංරක්‍ෂණය වෙනුවෙන්, සෑම ගම්මානයකම ජනතාව දායක කර ගැනීමට අපේක්‍ෂා කරන බවයි.

    සිංහරාජ වනාන්තරයේ අලි දෙදෙනා වාසය කිරීම සම්බන්ධයෙන් ගම්වාසියෙකුගේ විරෝධයක් නැහැ. සියලු ගම්වාසීන්ගේ එකඟතාවෙන් ඔවුන්ගේ ආරක්‍ෂාව මෙන්ම, වන අලින්ගේ සුරක්‍ෂිතභාවය ද තහවුරු කරන බව, වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

    Last modified on අඟහරුවාදා, 22 ජනවාරි 2019 18:58

    Latest News