පාරාවන්ගේ සුසාන භූමියකින් වසර 2500 ක් ඉපැරණි සිරුරු 100 ක්

නොවැ 23, 2020

    ඊජිප්තුවේ කයිරෝ නගරයට දකුණින් පිහිටි පාරාවෝ රජවරුන්ට අයත් සුසාන භූමියකින් ඉතා හොඳින් සංරක්ෂණය කරන ලද සිරුරු 100 ක් පමණ හමුවී තිබේ.

    පුරාවිද්‍යාඥයින් පවසන්නේ මේවා වසර 2500ක් පමණ පැරණි බවයි.

    ඉතා හොඳින් මුද්‍රා තබා තිබූ පෙට්ටි වල සංකීර්ණ තීන්ත මෝස්තර හොඳින් ආරක්ෂාවී ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

    රන් ආලේපිත මුහුණු ආවරණ හා රන් ආභරණ ද සමග සිරුරු මිහිදන් කර තිබූ බව ද ඔවුහු පවසති.

    සිරුරේ හැඩයටම සකස් කරන ලද දැවමය පෙට්ටිවල සිරුරු සුරක්ෂිත කර තිබේ.

    එම සිරුරු උසස් පුද්ගලයන්ට අයත් ඒවා වියහැකි බව ඒවා සංරක්ෂණය කර තිබෙන ආකාරයෙන් පෙනී යන බව ද පුරාවිද්‍යාඥයෝ පවසති.

    "මෙම සොයාගැනීම විශේෂිතයි, සිරුරු බහා තිබූ පෙට්ටිවල ගුණාත්මකභාවය හා ප්‍රමාණය අනුව ඒවා උසස් පුද්ගලයන්ට අයත් බව පෙනී යනවා." යනුවෙන් ඊජිප්තුවේ පුරාවස්තු කවුන්සිලයේ මහලේකම් මොස්ටාෆා වසිරි පැවසීය.

    පුරාවිද්‍යාඥයින් විසින් එක් පෙට්ටියක් විවෘත කර සිරුර ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමුකර තිබේ.

    එමගින් සිරුර සංරක්ෂණය කළ ආකාරය සම්බන්දව තොරතුරු සොයාගැනීමට හැකිවූ බව ඔවුහු පවසති.

    ඊජිප්තුවේ පළමු රාජ වංශය දක්වා දිවෙන මෙම විශාල සුසාන භූමියේ පැරණිතම පිරමීඩය ද පිහිටා තිබේ.

    Latest News