ඇල්ල සුන්දරත්වය නැරඹීමට දෙස්-විදෙස් සංචාරකයින්

ජන 02, 2019

    බණ්ඩාරවෙල, ඇල්ල රොක් ප්‍රදේශයට මේ දිනවල දෙස්-විදෙස් සංචාරකයෝ විශාල පිරිසක් පැමිණෙමින් සිටිති.

    එම කඳු මුදුනට පිවිසීමෙන් නමුණුකුළ කඳුවැටිය, පුංචි ශ්‍රී පාදය, බල්ලකැටුව නගරය, ප්‍රදේශයේ තේ කම්හල් ඇතුළු බොහෝ දසුන් වඩාත් සුන්දර ආකාරයෙන් දැකගත හැක.

    බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශය සංචාරක ආකර්ෂණය දිනාගත් මෙරට සුන්දරතම ස්ථාන අතුරින් ප්‍රමුඛ ප්‍රදේශයක්. බොහෝ සංචාරකයින් ඇල්ල දුම්රිය ස්ථානයේ සිට පා-ගමනින් පැමිණ කිතුල්ඇල්ල දුම්රිය ස්ථානය පසු කරමින්, ඇල්ල පර්වතය තරණය සඳහා පැමිණෙනවා.

    මෙය, ලොව හොඳම ඔක්සිජන් වායුව සහිත පරිසර පද්ධතිය ලෙසත් ප්‍රකටයි. මුහුදු මට්ටමේ සිට උස මීටර දහසකට අධිකයි. ඇල්ල රොක් නමින් හැඳින්වෙන මේ පර්වත ප්‍රදේශය පිහිටා ඇත්තේ ඇල්ල නගරයේ සිට මීටර 300ක් උසින්. මෙය තරණය කිරීමට පැය 04කට ආසන්න කාලයක් ගත වුවත්, විදෙස් සංචාරකයින් ඊට දක්වන්නේ දැඩි කැමැත්තක්. දිය පහරවල්, තේවතු සහ අනෙකුත් සොබා සුන්දරත්වය විඳ ගැනීමේ අවස්ථාව මෙම ගමනේ දී නිතැතින්ම හිමිවනවා.

    එහෙත් මේ ගමනට අවශ්‍ය පහසුකම් පවතින්නේ, ඉතා අවම මට්ටමකයි. ආරක්‍ෂාව, සනීපාරක්‍ෂක පහසුකම් සහ ගිමන්හල් ඉන් ප්‍රධානයි. මේ කඳු මුදුනට නැග ඡායාරූප ගැනීමට බොහෝ දෙනෙකු දක්වන්නේ දැඩි උනන්දුවක්.

    එහෙත්, ඇතැම් සංචාරකයින් එම කටයුතුවල නිරතවන්නේ දැඩි අනාරක්‍ෂිතවයි. සුන්දර ස්ථානයක් වුව ද, සුළු අතපසුවීමක් ජිවිතයක් අහිමි කිරීමට පවා හේතුවිය හැකියි. එම නිසා ඡායාරූප ගැනීමේදී සංචාරකයින් වඩාත් ආරක්‍ෂාකාරීව එය සිදු කිරීමට වගබලා ගත යුතුයි.

    සොබා සෞන්දර්යයෙන් අනූන මේ ප්‍රදේශයේ සුන්දරත්වය විඳ ගැනීමට අවශ්‍ය අවම පහසුකම් සහ ආරක්‍ෂාව සලසා දෙන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

    Last modified on බදාදා, 02 ජනවාරි 2019 20:15

    Latest News