ආසියා - ශාන්තිකර හොඳම එසැණ පුවත් සපයන්නා සම්මානය..ජාතික රූපවාහිනියට

ජූලි 31, 2019

    2018-2019 කාලසීමාව තුළ ආසියා - ශාන්තිකර කලාපයේ හොඳම එසැණ පුවත් සපයන්නා ලෙසට ජාතික රූපවාහිනිය අන්තර් ජාතික සම්මානයෙන් පිදුම් ලැබිය.

    කලාපයේ රටවල් 34ක් අභිබවා මේ ජයග්‍රහණය අත්කර ගැනීමට ජාතික රූපවාහිනිය සමත්විය. සම්මානය පිරිනැමුවේ, කලාපයේ ප්‍රධාන මාධ්‍ය මෙහෙයුම්කරු වන ආසියානු ශාන්තිකර විකාශන සංගමයයි. තුර්කියේ ඉස්ථාන්බූල් නුවර දැන් පැවැත්වෙන ආසියා ශාන්තිකර විකාශන සංගමයේ ගෝලීය ප්‍රවෘත්ති සම්මේලනය හා සමගාමීව සම්මාන උළෙල පැවැත්විණ. ඒසියා විෂන් ප්‍රවෘත්ති හුවමාරුවට දෛනිකව දායක කෙරෙන ප්‍රවෘත්ති අංග පදනම් කර ගනිමින් සම්මාන ප්‍රදානය සිදු කෙරේ. ඒසියා විෂන් ප්‍රථම වාර්ෂික සම්මාන උළෙල වන මෙහි දී සම්මාන පිරිනැමුණේ, කාණ්ඩ තුනක් යටතේ. කලාපයේ හොඳම එසැණ පුවත් වාර්තාකරණය සඳහා වන සම්මානය හිමිකර ගත්තේ, ජාතික රූපාහිනියයි. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ඉහළ ගුණාත්මක වාර්තාකරණය මෙහි දී ඇගයීමට ලක්විය. සිද්ධිය සම්බන්ධ විස්තරාත්මක වාර්තා අන්තර් ජාතික ප්‍රජාවට ලබාදීම මෙන්ම, සිද්ධියෙන් පසු තත්වය වාර්තාකරණයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසය අන්තර් ජාතික වශයෙන් යළි තහවුරු කිරීමට ජාතික රූපවාහිනිය සමත් වූ බවයි, සාමාජික රටවල පිළිගැනීම.

    අනෙක් කාණ්ඩ දෙක සඳහා ද ජාතික රූපවාහිනිය නිර්දේශ වීම තවත් විශේෂත්වයක්. ආසියා ශාන්තිකර විකාශන සංගමයේ නිල ප්‍රවෘත්ති හුවමාරුව හැඳින්වෙන්නේ, ඒෂියා විෂන් යනුවෙන්. ජපානය, චීනය, ඉන්දියාව, දකුණු කොරියාව, තායිලන්තය, ඉරානය හා තුර්කිය වැනි ප්‍රබල රටවල් 35ක ජාතික රූපවාහිනී සේවාවන් එම ප්‍රවෘත්ති හුවමාරු ජාලයට එක්ව සිටියි. ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ජාතික වැදගත්කමකින් යුත් ප්‍රවෘත්ති අංග දෛනිකව ජගත් ප්‍රජාව වෙත ලබාදීම ජාතික රූපවාහිනියේ කාර්යභාරයයි. යුරෝපා රටවල් ශ්‍රී ලංකාව පිළිබඳ රූපවාහිනී ප්‍රවෘත්ති ලබාගැනීම සඳහා වන ප්‍රධානතම මූලාශ්‍රය වන්නේ ද ජාතික රූපවාහිනිය හා බැඳුණු එසියා විෂන් ජාලයයි.

    Last modified on බදාදා, 31 ජූලි 2019 10:55

    Latest News