2020 දී Uber ගුවනින්

ජූනි 17, 2019

    Uber ගුවන් ටැක්සි සේවාව අත්හදා බැලීමේ නියමු ව්‍යාපෘතියක් 2020 වන විට ආරම්භ කරන බව Uber ආයතනය නිවේදන කර තිබේ.

    "Uber Air" ලෙස ඔවුන්ගේ මේ අදහස මුලින්ම එළි දැක්වූයේ 2018 වසරේ මැද භාගයේදීය.

    ඒ සඳහා ලොව ප්‍රධාන නගර තුනක මෙය ක්‍රියාත්මක කිරීමට Uber ආයතනය සූදානම් වේ. මුලින් අදහස් කළ අමෙරිකාවේ Dallas සහ Los Angeles යන නගරවලට අමතරව ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ද මෙම නියමු ව්‍යාපෘති සඳහා තෝරාගෙන තිබේ.

    මෙල්බර්න් නුවර Uber Air සේවාව අත්හදා බැලීමට සහ ස්ථාපනය කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය මේ වන විට සිය සහය පළ කර තිබේ. එහි සාර්ථකත්වය මත 2023 වසරේදී එය වාණිජ වශයෙන් මෙල්බර්න් නුවර ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව වැඩිදුරටත් වාර්තා වේ.

    ජනගහන සහ වාහන තදබදය අධික නගරවල මෙම ගුවන් ටැක්සි සේවාව ක්‍රියාත්මක කිරීම Uber ආයතනයේ මූලික අරමුණ වී ඇත.

    Uber Air සේවාව සඳහා කුඩා ප්‍රමාණයේ විදුලි ගුවන් යානා (electric aircraft) යොදාගැනෙන අතර ඒවා සිරස්ව ගොඩබැස්වීම සහ ගුවන් ගත කිරීම සිදු කළ හැකි බව එම ආයතනය සඳහන් කරයි. එම යානා මේ වන විට පර්යේෂණ මට්ටමේ මූලික ආකෘති සාර්ථකව අත්හදා බලා ඇත. මෙම Uber ගුවන් යානයක් ඉතා කුඩා ප්‍රමාණයේ යානයක් වන අතර එහි උපරිම මගීන් 4 කට හෝ 5 කට ගමන් කළ හැකි වනු ඇත.

    අනාගත ප්‍රවාහන තාක්ෂණය පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉතා ඉහළ උනන්දුවකින් පසුවන බවත් මෙල්බර්න් නුවරට පසුව ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රධාන නගර ද මෙය අනුගමනය කරනු ඇති බවත් Uber සමාගමේ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ උතුරු ආසියානු කලාපයේ ප්‍රාදේශීය සාමාන්‍යධිකාරිනී Susan Anderson පවසා ඇත.

     

    Latest News