ශංහැයි පළමු ආනයන ප්‍රදර්ශනය (විඩියෝ)

නොවැ 05, 2018
  • චීනයේ ප්‍රථම අන්තර්ජාතික ආනයන ප්‍රදර්ශනය, ෂැංහයි නගරයේ ජාතික ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී අද ආරම්භ කෙරිණ.

    ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 130ක සමාගම් 3600කට අධික සංඛ්‍යාවක් මීට එක්ව සිටියා. “ආනයනය“ තේමා කරගත් ලොව පළමු ජාතික ප්‍රදර්ශනය මෙයයි. 

    ප්‍රදර්ශනයෙන් ලෝකයේ සියලුම රටවල්වලට ලෝක වෙළෙඳ පොළ ලිහිල්කරණයට සහ ගෝලීය ආර්ථිකයට මඟ පෙන්වීම චීනයේ අරමුණයි. විශේෂයෙන් සංවර්ධනය වන රටවල්වලට ලෝක ආර්ථික වෙළෙඳ පොළ විවෘත කරදීම මේ හරහා සිදුවේ. වෘත්තීය ගැනුම්කරුවන් 1,50000ක් පමණ ප්‍රදර්ශනයට එක්ව සිටී. නව නිපැයුම්, කර්මාන්ත, ආයෝජන, සංචාරක ප්‍රවර්ධන ඇතුළු භාණ්ඩ හා සේවා රැසකින් ප්‍රදර්ශනය සමන්විතයි. ශ්‍රී ලංකාවට අනන්‍ය වූ අනර්ඝ තේ, මැණික් ඇතුළු භාණ්ඩ හා සේවා රැසක් ප්‍රදර්ශනයට ඇතුළත්. ඒ සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් ප්‍රදර්ශනය ආරම්භයේදීම පැවති බව ආයෝජකයින් සඳහන් කරයි. ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට චීන ජනාධිපති ෂී-ජින්-පින් මහතා ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයින් සහභාගි වූහ.

    ඉදිරි පස් වසර තුළ චීනය ආනයනය කිරීමට අපේක්‍ෂිත භාණ්ඩ හා සේවාවල වටිනාකම අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 10ක්. සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට චීනයේ අතිවිශාල වෙළෙඳ පොළ විවෘත කරදීමත් මේ ප්‍රදර්ශනයෙන් ආරම්භ වුණා. ගෝලීය ආර්ථිකයට මඟ පෙන්වන මෙම ප්‍රදර්ශනය නොවැම්බර් 1 වැනිදායින් අවසන්වේ.

     

    Last modified on සදුදා, 05 නොවැම්බර් 2018 19:37

    Latest News