'FitsAir' මෙරට සිට මාලේ,ඩුබායි, ඉන්දියා ගුවන් ගමන් අරඹයි

ඔක් 05, 2022

    ඇබර්ඩීන් හෝල්ඩිංග්ස් සමූහයට අයත් Fits Air ගුවන් සේවයේ තවත් පියවරක් ලෙස අද දිනයේදී ජාත්‍යන්තර මගී ප්‍රවාහන ගුවන් මෙහෙයුම් ආරම්භ කරයි.

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට එම සමාගම මෙම ගුවන් සේවා ක්‍රියාත්මක කිරීම සැලසුම වී තිබේ. එම සමාගම මගින් මිලදී ගත් එයාර්බස් A320-200 ගුවන් යානයක් මගින් මෙම සේවා සැපයෙයි. මෙය අඩුමිල ගුවන් සේවා යටතට ඇතුළත් වෙයි.

    ඒ අනුව කොළඹ සිට ඩුබායි, මාලදිවයින සහ දකුණු ඉන්දියාව දක්වා වන ගමනාන්ත වෙත මෙම ගුවන් සේවාව ක්‍රියාත්මක කිරීම සැලසුම වී තිබේ.

    මෙහිදී කොළඹ සිට ඩුබායි ගුවන් ගමන් ලබන ඔක්තෝබර් 05 වැනිදා ආරම්භ කිරීමට නියමිතව ඇති අතර, සතියකට ගමන්වාර 3ක් ඩුබායි වෙත යාම සිදු වෙයි. එසේම කොළඹ සිට මාලදිවයින දක්වා ගුවන් ගමන් ලබන ඔක්තෝබර් 10 වැනිදා ආරම්භ කෙරෙන අතර එහිදීද සතියකට ගුවන් ගමන් වාර 3ක් සිදු කරයි.

    මීට අමතරව කොළඹ සිට දකුණු ඉන්දියාව දක්වා වන ගුවන්ගමන් නුදුරේදීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයිද Fits Air ගුවන් සමාගම පවසයි.

    මීට පෙර Expo Aviation ලෙසින් හැඳින්වුණු fitsAir ගුවන් සේවය සතුව වසර 25කට අධික කාලයක් පුරා ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ අත්දැකීම් පවතී. දැනට වසරකට පමණ පෙරාතුව එම සමාගම A320-200 මාදිලියේ ගුවන් යානයක් මිලදී ගනිමින් සිය මගී ගුවන් සේවා කටයුතු ආරම්භ කිරීමට පියවර ගැනුණි. අද වනවිට FitsAir සතුව එම මාදිලියේ ගුවන් යානා තුනක් ඇත.

    මෙලෙස අද දිනයේදී ගුවන් ගමන් අරඹන එයාර්බස් A320-200 ගුවන් යානය ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි ගුවන් යානයක් වන අතර, එය සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ මෙහෙයුම් සිදු කරන්නකි.

    එසේම ගුවන් සේවයේ සියලුම තාක්ෂණික සහ ගුවන් යානා අභ්‍යන්තර කාර්ය මණ්ඩලය ශ්‍රී ලාංකිකයන්ගෙන් සමන්විත වන බවත් ඒ අතර අත්දැකීම් සහිත ගුවන් සේවා වෘත්තිකයන් සහ පූර් ණ සුදුසුකම් සහිත නවකයන්ද ඇතුළත් වන බවත් FitsAir ගුවන් සමාගම සඳහන් කරයි.

    Last modified on බදාදා, 05 ඔක්තෝබර් 2022 11:35

    Latest News