විදෙස් සංචිත ඩොලර් කෝටි 93.7කින් ඉහළට

සැප් 04, 2021

    කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මෙරට ආර්ථිකය පසුබෑමට ලක්වුව ද ඩොලර් සංචිත වටිනාකම් අමෙරිකානු ඩොලර් කෝටි 93.7කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන්නේ මෙලෙස මෙරට විදෙස් මූල්‍ය සංචිත ශක්තිමත් වී ඇත්තේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙහි ගෝලීය එස්.ඩී.ආර්.ප්‍රතිපාදන එහි සාමාජික රටවල් වෙත මුදා හැරීම හා අමෙරිකානු ඩොලර් මිලියන 787ක් හා බංගලාදේශ මහ බැංකුව සමග මුදල් හුවමාරු ගිවිසුම් යටතේ එකඟ වූ මුදලින් ලද අමෙරිකානු ඩොලර් මිලියන 150ක් මේ වන විට මෙරට ආර්ථිකයට එකතු වී තිබෙන බවයි.

    අන්තර්ජාතික මූල්‍ය අරමුදල සතුව දැනට පවතින කෝටාවලට සමානුපාතිකව එහි සාමාජික රටවල් අතර අමෙරිකානු ඩොලර් බිලියන 650කට අධික මුදලක් ප්‍රතිපාදන ලෙස බෙදා දීමට තීරණය කර තිබේ. මේ හරහා ශ්‍රී ලංකාවේ හිමිකම් මුදල අමෙරිකානු ඩොලර් මිලියන 800ක් බව ද ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 787ක් මේ වන විට ශ්‍රී ලංකාවට ලැබී තිබෙන බව ද එම බැංකුව සඳහන් කරයි.

    අන්තර්ජාතික මූල්‍ය අරමුදල සතු මේ එස්. ඩී. ආර්. සංචිත මුදා හැරීමට තීරණය කරනු ලැබුවේ කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් ලොව දිළිඳු රටවල් බොහොමයක් අන්ත දිළිඳු භාවයට පත් වීමේ අවදානම හඳුනා ගැනීමත් සමඟ වන අතර, මෙය අන්තර්ජාතික මූල්‍ය අරමුදල හරහා දෙන ණයක් නොවන අතර, ඒ සඳහා කොන්දේසි කිසිවක් ඇතුළත් නොවන බවද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

    Latest News