ආනයන සීමා තවදුරටත් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි

පෙබ 12, 2021

    ගෙවුම් ශේෂයේ අවශ්‍යතාව සැපිරෙන තුරු මෝටර් රථ ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මත පනවා තිබෙන ආනයන සීමා තවදුරටත් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා අද (12) පැවැසීය.

    ආනයන සීමා කිරීම ඉතා වැදගත් සහ සැළකිය යුතු තීන්දුවක් බවත් ඒ තුළින් කෙටිකාලීනව යම් යම් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වුවත් දීර්ඝකාලීනව ඉතා වැදගත් ප්‍රතිපත්තියක් බවත් අධිපතිවරයා කීය.

    මෑත කාලීන ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ අද (12) පැවැති මාධ්‍ය හමුවේදී අධිපතිවරයා එම කරුණු සඳහන් කළේය.

    මෝටර් රථ ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා ඉවත් කිරීමට තරම් ගෙවුම් ශේෂය තවමත් හැඩ ගැසී නැති බවත් එබැවින් එම සීමා තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු බවත් අධිපතිවරයා කීය.

    මෙවැනි ප්‍රතිපත්තිවලට ඉන්දියාව, චීනය සහ ජපානය යන රට වලින් උදාහරණ ගත හැකි බවත් මෙලෙස ආනයන සීමා කිරීමෙන් රටේ අවශ්‍යතා රට තුළම නිෂ්පාදනය කරගැනීමට අවශ්‍ය පරිසරය හැඩගැසෙන බවත් හෙතෙම කීය.

    එහිී කෙටිකාලීනව යම් යම් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද ඔහු කීවේය.

    Latest News