ආනයනික ෆයිනස් දැව සඳහා සෙස් බද්දක් පැනවේ

පෙබ 18, 2021

    පිටරටින් ආනයනය කරනන ෆයිනස් දැව සඳහා සෙස් බද්දක් පැනවීමට ඉදිරියේදී කටයුතු කරන බව වනජීවි හා වන සංරක්ෂණ ඇමැති සී.බී. රත්නායක පවසයි.

    මෙරට ප්‍රමාණවත් තරම් ෆයිනස් දැව තිබියදී, විදෙස් රටවලින් ෆයිනස් දැව ආනයනය කෙරෙන බවත්, මෙය පාලනය කිරීම සඳහා සෙස් බද්ද පැනවීමට කටයුතු කරන බවද ඇමැතිවරයා කියයි.

    විදෙස් රටවලින් ආනයනය කරනු ලබන දැව වල තත්ත්වය පිළිබඳව ගැටලු රැසක් පැනනැගී තිබෙන බැවින්, ආනයනික දැව නියාමනය කිරීමට කමිටුවක් පත්කිරීමට කටයුතු කරන බවද ඇමැති සී.බී.රත්නායක කීය. තත්ත්වයෙන් බාල ලී වර්ග ආනයනය කර වැඩි මිල ගණන් වලට පාරිභෝගිකයන්ට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බවත්, ඒ පිළිබඳ කමිටුව මගින් සොයා බලා කටයුතු කිරීමට නියමිත බවද ඇමැතිවරයා කීවේය.

    මේ අනුව ඉදිරියේදී ආනයනය කරනු ලබන දැව තොග දැව සංස්ථාවේ පරීක්ෂණාගාරයේදී තත්ත්ව පරීක්ෂණයකට ලක්කිරීමට නියමිතය.

    මෙරට වාර්ෂික දැව ඉල්ලුම ඝන මීටර් ලක්ෂ 16 ක් වන අතර, වාර්ෂයකට ෆයිනස් දැව ඝන මීටර් 15,000 ත් 18,000ත් අතර ප්‍රමාණයක් ආනයනය කෙරේ.

    මෙරට ෆයිනස් වගාව හෙක්ටයාර් 16,000 ක භූමි ප්‍රදේශයක විහිදී තිබෙන අතර, ඉන් හෙක්ටයාර් 6,000 ක දැව ලබාගැනීමේ හැකියාවක් පවතින බව දැව සංස්ථාව සඳහන් කරයි.

    Latest News