නීති විරෝධි සංක්‍රමණිකයින්ට වැට බැඳීමේ සූදානමක්

නොවැ 09, 2018

    නීති විරෝධි සංක්‍රමණ වැළැක්වීම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට අමෙරිකානු ජනාධිපතිවරයාට බලය ඇති බව එරට නීතිපතිවරයා පවසයි.

    අමෙරිකාවේ වැඩබලන නීතිපති මැතිව් විටේකර් මේ බව සඳහන් කළේ, නීති විරෝධි සංක්‍රමණිකයන් පිළිබඳ ජනාධිපති ට්‍රම්ප් හඳුන්වාදුන් නව නීති-රීති ප්‍රකාශයට පත් කරමින්. අමෙරිකාවට ඇතුළුවන නීති විරෝධි සංක්‍රමණිකයන්ට අනාගතයේදී දේශපාලන රැකවරණ හෝ පුරවැසිභාවය ලබානොදීමේ නව නීතියක් සම්මත කිරීමට ජනාධිපති ට්‍රම්ප් පියවර ගත්තේය.

    මෙය සිදු කෙරෙන්නේ, ජනාධිපති ආඥාවක් මගින්. අමෙරිකානු පාර්ලිමේන්තුව වන කොංග්‍රසය මේ සඳහා ජනාධිපති ට්‍රම්ප්ට බලය ලබාදී තිබේ. අලුතින් පත්වූ නීතිපති මැතිව් විටේකර්, සංක්‍රමණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සතු බලතල අර්ථ නිරූපණ කළේය. අමෙරිකාවේ නව නීති සංශෝධන හඳුන්වාදී ඇත්තේ, ලතින් අමෙරිකානු රටවල තුන් දහසකට අධික ජනයා අමෙරිකාවේ පුරවැසිභාවය ලබාගැනීම සඳහා දකුණු දේශසීමාව දෙසට සමූහ වශයෙන් ඇදී එමින් සිටින අවස්ථාවකයි.

    මෙය සරණාගත තවලමක් ලෙසයි හැඳින්වෙන්නේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්වා දෙන්නේ මෙය ආක්‍රමණයක් ලෙසයි.

    Latest News