චීනයෙන් සාම සැලැස්මක්

මාර් 22, 2023

    චීනයේ සාම සැලැස්ම රුසියා-යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට පදනමක් ලෙස භාවිත කළ හැකි බව, රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් පවසනවා.


    ඊයේ මොස්කව් අගනුවරදී චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියානු නායකයා අතර, ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණා. එහිදී දෙරට අතර, සබඳතා සහ තවත් ක්ෂේත්‍ර රැසක් පිළිබඳව අවධානය යොමු කෙරුණු බව විදෙස් වාර්තාවල සඳහන්.

    රුසියා-යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට චීනය කරුණු 12 කින් සමන්විත සාම සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. ඊට රුසියාව එකඟතාව පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

    දේශපාලනික සහ ආර්ථික වශයෙන්ද ගිවිසුම් රැසකට සාකච්ඡාවකදී එකඟතාව පළ වුණා. චීන ජනාධිපතිවරයා රුසියානු සංචාරයක නිරත වන්නේ, අන්තර්ජාතික අපරාධ අධිකරණය ව්ලැදිමිර් පුටින් අත්අඩංගුවට ගත යුතු බවට වරෙන්තු නිකුත් කර ඇති පසුබිමකයි. ඒ, යුක්‍රේනයේ දැවැන්ත යුද අපරාධ සිදු වන බවට චෝදනා කරමින්.

    කෙසේ වුවද, චීන සාම සැලැස්ම පිළිබඳ ඇතමුන් චෝදනා කරන්නේ, එහි රුසියාවට යුක්‍රේන භූමියෙන් ඉවත් වන ලෙස පැහැදිලිව සඳහන් කර නොමැති බව පවසමින්.

    මේ නිසා යුක්‍රේන රජය නිවේදනය කර ඇත්තේ, චීනයේ ඕනෑම කොන්දේසියක් සඳහා එකඟතාව පළ කරන්නේ, රුසියාව තම භූමියෙන් ඉවත් වන්නේ නම් පමණක් බවයි.

    මේ වන විට බටහිර රටවල් රැසක් යුක්‍රේනයට සහය පළ කරමින් සිටිනවා. එවැනි පසුබිමක ලොව දෙවනුවට විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනය සහ ලොව විශාලතම භූමි ප්‍රමාණයට හිමිකම් කියන රුසියාව අතර, සබඳතා ශක්තිමත් වීම බරපතල තර්ජනයක් ලෙසයි අමෙරිකාව දකින්නේ.

    චීන ජනාධිපතිවරයාගේ රුසියානු චාරිකාව අතරතුර, ජපාන අග්‍රාමාත්‍යවරයා යුක්රේකනයේ චාරිකාවක නිරත වනවා. එහිදී යුක්‍රේනයට පූර්ණ සහය ලබාදීමටයි ජපානය එකඟ වී ඇත්තේ.

    Last modified on බදාදා, 22 මාර්තු 2023 22:33

    Latest News