"හැලොවින්"; තෙරපීමෙන් මිය ගිය පිරිස අතර ශ්‍රී ලාංකිකයෙක්...

ඔක් 30, 2022

    දකුණු කොරියාවේ සෝල් අගනුවර, පැවති හැලොවින් උත්සවයක් අතරතුර සිදු වූ තෙරපීමෙන් මිය ගිය පිරිස අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව, විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

    තවත් පුද්ගලයින් 150 දෙනෙකු මියගොස් ඇති බවයි, දකුණු කොරියානු බලධාරීන් පවසන්නේ. තුවාල ලැබූ පිරිස 82 කට අධිකයි.

    දකුණු කොරියාවේ සෝල් අගනුවර ආශ්‍රිතව පිහිටි “‍ඉටෙවන්” ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා. දකුණු කොරියානු අවන්හල් මෙන්ම එරටට ආවේනික පෞරාණික ගෘහභාණ්ඩ අලෙවිසැල්වලින් සමන්විත “‍ඉටෙවන්” ප්‍රදේශය, රාත්‍රී සමාජ ශාලා සහ හැලොවින් උත්සව පැවැත්වීම සඳහා දෙස්-විදෙස් සංචාරකයින් අතර වඩාත් ජනප්‍රිය ප්‍රදේශයක් ලෙසයි, සැලකෙන්නේ. ඊයේ පැවති හැලොවින් උත්සවය සඳහා ලක්ෂයක පමණ ජනකායක් එම ප්‍රදේශයට රැස්ව සිටි බව, දකුණු කොරියානු බලධාරීන් පවසනවා.

    එහිදී ඇති වූ හදිසි තෙරපීමකින් මෙම ඛේදවාචය සිදු වූ බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ. තෙරපීම හේතුවෙන් ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතාවන් සහ පෑගී යාම නිසා මෙම මරණ සිදුව තිබෙනවා. මියගිය පිරිස අතර විදේශිකයින් 19 දෙනෙකු ද සිටින බව, එරට හදිසි සේවා අංශ නිලධාරීන් පවසනවා.
    මියගිය සහ තුවාල ලැබූවන්ගෙන් බහුතර පිරිසක් නව යොවුන් වියෙහි පසු වන්නන් සහ වැඩිහිටියන් වන බව ද එම නිලධාරීන් සඳහන් කරනවා. තුවාල ලැබූවන් අතර, විදේශිකයන් 15 දෙනෙකු ද සිටින බවයි, වාර්තා වන්නේ.

    මේ අතර, විදෙස් මාධ්‍යයද සඳහන් කරන්නේ, උත්සවය පැවති ස්ථානයේ පටු මංතීරුවක රැස්ව සිටි ජනකායෙන් පිරිසක් එකිනෙකා මත පෙරළී යාමෙන් තෙරපීම ආරම්භ වී ඇති බවයි. සිදුවීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපති “යූන් සුක් යෝල්” හදිසි රැස්වීමක් කැඳවා ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තෙරපීමට හේතුව සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන ක්‍රියාත්මකයි.

    තුවාල ලැබූවන් සඳහා ප්‍රතිකාර කිරීමේ කාර්ය සාධක බලකායක් ද පිහිටුවා තිබෙනවා. මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි, දකුණු කොරියානු බලධාරීන් පවසන්නේ. කොරෝනා වසංගතවයෙන් පසු දකුණු කොරියාවේ මුව ආවරණ පැළැඳීමකින් තොරව, එළිමහනේ පැවැත්වූ පළමු ‍හැලොවින් උත්සවය මෙය බවයි, ඔවුන් සඳහන් කරන්නේ.

    මෙම සිද්ධියෙන් ලාංකිකයෙකු මියගොස් ඇතැයි, විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කළා. ඔහු මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි, මූලික තොරතුරුවල දැක්වෙන්නේ. දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ වන විට ඒ පිළිබඳව සහ තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයන් සිටී ද යන්න පිළිබඳව තොරතුරු සොයා බලමින් සිටිනවා.

    Latest News