බ්‍රිතාන්‍ය නව අගැමැති එලිසබෙත් ට්‍රස් මහත්මියට ජනාධිපති රනිල්ගෙන් සුබ පැතුම්

සැප් 07, 2022

    එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍ය ධුරයට සහ "කොන්සර්වෙටිව් පක්ෂයේ" නායකත්වයට අභිනවයෙන් තේරිපත් වූ "එලිසබෙත් ට්‍රස්" මහත්මිය වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පළ කර තිබෙනවා.


    විශේෂ සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය හවුල් ඉතිහාසයකින් බැදී, දීර්ඝකාලීන මිත්‍ර සබඳතාවක් භුක්ති විදින බවයි. කැබිනට් අමාත්‍යාංශ ගණනාවක සේවය කර ඇති ට්‍රස් මහත්මියගේ පරිණත භාවය සහ අත්දැකීම් අග්‍රාමාත්‍යවරිය ලෙස ඇයගේ ජනවරම ඉටු කිරීමට මනා පිටිවහලක් වනු ඇති බවද, වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ලයීය රටවල් සමග මහා බ්‍රිතාන්‍ය ක්‍රියාත්මක කර තිබෙන නව ප්ලැටිනම් හවුල්කාරීත්ව යෝජනා ක්‍රමය ය‍ටතේ, එක්සත් රාජධානිය සමග පවතින සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කර ඇති සුබ පැතුම් පණිවුඩයේ සඳහන්.

    එක්සත් රාජධානියේ මෑතකදී ප්‍රකාශයට පත්කෙරුණු සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාව ප්‍රතිලාභී රටක් ලෙස ඇතුළත් කිරීම ද, ජනාධිපතිවරයා‍ගේ ඇඟයීමට ලක්ව තිබෙනවා. ලබන වසරේ පෙබරවාරී මාසයේ දී ශ්‍රී ලංකාව සිය 75 වැනි නිදහස් සංව‍ත්සරය සැමරීමට සූදානම්ව සිටින අතර, එක්සත් රාජධානිය සමග සහයෝගීතාව තවදුරටත් තහවුරු කර ගැනීම අපේක්‍ෂා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබ පැතුම් පණිවුඩයෙන් කියා සිටිනවා.

    Latest News