රජිව් ගාන්ධි ඝාතනයට සම්බන්ධ සිරකරුවෙකු වසර 31කට පසු නිදහස්....

මැයි 18, 2022

    රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වසර 31ක් සිරදඬුවම් විඳි පෙරරිවාලන් නැමැත්තා නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධීකරණය නියෝග කර තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ රැසක් සතුට පළකර ඇත. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 142 වැනි වගන්තිය පදනම් කරගනිමින් පෙරරිවාලන්ට නිදහස පිරිනමන බව, විනිසුරු මඩුල්ලේ ප්‍රධානී එල්. නාගේෂ්වර රාඕ තීන්දුව ලබා දෙමින් කියා සිටියා.

    ඒ.ජී. පෙරරිවාලන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබ සිටි රජිව් ගාන්ධි ඝාතකයන් හත් දෙනාගෙන් එක් අයෙක්. 1998 වසරේදී මේ පිරිසට මරණීය දණ්ඩනය නියම කෙරුණු අතර, පසුව එය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත් කෙරුණා.

    රජිව් ගාන්ධි ඝාතනය සිදුවන අවස්ථාවේ පෙරරිවාලන්ගේ වයස අවුරුදු 19ක්. ඔහුට එරෙහි තිබූ චෝදනාව වන්නේ මරාගෙන මැරෙන බෝම්බය තැනීමට සහයවීමයි. වරදකරුවන් සියලුදෙනා රජිව් ගාන්ධි ඝාතනය මාස කිහිපයක් පුරා සැලසුම්කර තිබූ බව මධ්‍ය රහස් පරීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ඩී.ආර්. කාර්ටිකේයන් සිදුකළ විමර්ශනවලදී තහවුරු වුණා.

    තමිල්නාඩු නීතිවේදීන් සඳහන් කරන්නේ, මෙම නඩු තීන්දුව පදනම් කරගනිමින් රජිව් ගාන්ධි ඝාතනයේ ප්‍රධාන චූදිතයන් වන නලිනි සහ මුරුගන් යන අය ද නිදහස් කිරීමට ඉඩ සැලසෙන බවයි.

    Latest News