පකිස්තානයේ පැය 18ක විදුලි කප්පාදුවක්...

මැයි 02, 2022

    පකිස්තානයේ ඇතැම් ප්‍රදේශවල පැය 18ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා.

    මේ අතර, පවතින අධික උෂ්ණත්වය හමුවේ ඉන්දියාවේ ද විදුලිකප්පාදුවක් ක්‍රියාත්මකයි. පකිස්තානයේ පවතින උග්‍ර බලශක්ති අර්බුදය හේතුවෙන්, දිගු කාලීන විදුලි කප්පාදුවකට එරට බලධාරින් විසින් පසුගිය දිනවල පියවර ගනු ලැබුවා. පකිස්තානයේ ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන හා ගෑස් හිඟයක් නිර්මාණය වී ඇති අතර, එම නිසා එරට තාප බලාගාරවල විදුලි උත්පාදනය දැඩි ලෙස පහත වැටී තිබෙනවා.

    පවතින තත්වය හමුවේ එරට ඇතැම් ප්‍රදේශවල දිනකට පැය 18කට වැඩි විදුලි කප්පාදුවක් සිදුකිරීමටයි පියවර ගෙන ඇත්තේ. පකිස්තානයේ පවතින අධික උෂ්ණත්වය නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ද දැඩි බලපෑමකට ලක්ව ඇති බව විදෙස් වාර්තාවල සඳහන්. ඉන්දියාව ද පවතින අධික උෂ්ණත්වය හමුවේ ගල් අඟුරු හිඟයකට මුහුණ පා සිටිනවා.

    එරට බලශක්ති පරිභෝජනයෙන් වැඩි කොටසක් පදනම්ව ඇත්තේ ගල් අඟුරු මතයි. අධික උෂ්ණත්වය හේතුවෙන් පසුගිය දිනවල බලශක්ති ඉල්ලුම ඉහළ යාමත් සමග පවතින ගල් අඟුරු තොග විශාල ලෙස අඩුවී තිබෙනවා. සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ, ඉන්දියාව වසර 6කට පසුව මුහුණදෙන දරුණුතම විදුලි අර්බුදය ඉදිරියේදී ඇතිවිය හැකි බවයි. එරට නිවාස තුනෙන් දෙකකට විදුලිය ඇණහිටීම්වලට මුහුණදීමට සිදුවනු ඇතැයි ද එම වාර්තා මගින් පෙන්වා දී තිබෙනවා.

    Latest News