රුසියානු ප්‍රහාරවලින්, යුක්‍රේනයට ඇ.ඩො. බිලියන 63කට අධික පාඩුවක්...

මාර් 28, 2022

    මරියුපෝල් නගරය මානුෂී‍ය ව්‍යසනයක් කරා ලඟවන බව, එහි නගරාධිපති බොයි ෂෙංකෝ පවසනවා.

    නගරාධිපතිවරායා පවසන්නේ, 160,000ක සිවිල් වැසියන් නගයේ සිරවී සිටින බවයි. බස්රථ 26ක් සිවිල් වැසියන් ඉවත් කරගැනීම සඳහා නගර බලධාරින් සූදානම් කර ඇති නමුත්, ඊට රුසියානු හමුදාව එකඟ නොමැති බව, මරියුපෝල් බලධාරින් චෝදනා කරනවා. ඔවුන් සඳහා මානුෂීය ආධාර රැගෙන එන ට්‍රක් රථ රුසියානු හමුදා භාරයට ගෙන ඇති බවයි, වාර්තා වන්නේ. මරියුපෝල් නගරයට තවමත් රුසියානු ගුවන් ප්‍රහාර සහ ෂෙල්වෙඩි ප්‍රහාර නොනවත්වා එල්ලකරමින් සිටින බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    යුක්‍රේන බලධාරින් පවසන්නේ රුසියානු ප්‍රහාර සිවිල් වැසියන් ඉලක්කර එල්ලකරන බවයි. එහෙත්, රුසියානු බලධාරින් මෙම චෝදනා ප්‍රතික්‍ෂේප කරනවා. ඔවුන් චෝදනා කරන්නේ මානුෂීය කොරිඩෝවක් නිර්මාණය කිරිමට යුක්‍රේන බලධාරින් උනන්දු නොවන බවයි. මරියුපෝල් බලධාරින් එහි සිවිල් වැසියන් මිනිස් පළිහක් ලෙස ගෙන ඇති බව, රුසියානු බලධාරින් වැඩිදුරටත් චෝදනා කරනවා.  

    මේ අතර, දරුණු සටනකින් අනතුරුව යුක්‍රේන හමුදා කර්සෝන් නගරයේ ෂෝනෝබේව්කා ගුවන්තොටුපොළ අත්පත්කරගෙන අති බවයි වාර්තා වන්නේ. යුක්‍රේන බලධාරින් පවසන්නේ රුසියානු හමුදා එම ගුවන්තොටපොළ අත්පත්කරගැනීමට පැමිණි 12 වැනි වතාව මෙය බවයි. එම අවස්ථා 12දීම සාර්ථක ප්‍රතිප්‍රහාර හා විශේෂ මෙහෙයුම් මගින් රුසියානු හමුදා පරාජය කිරීමට හැකිවූ බවයි,  යුක්‍රේන බලධාරින් පවසන්නේ.

    නොබැඳි ප්‍රතිපත්තිය අනුගමනය කිරීමේ අරමුණින්, සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව, යුක්‍රේනය පවසනවා. ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ, සාම වැඩපිළිවෙළේ කොටසක් ලෙස තමා ඊට සූදානම් බවයි. යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, එම තීරණය ජනමත විචාරණයකින් අනුමත කළ යුතු බවයි.

    යුක්‍රේන - රුසියා අර්බුදයට මේ වන විට මසකට අධික කාලයක් ගතවී තිබෙනවා. එල්ලවූ ප්‍රහාරවලින් යුක්‍රේනයට මේ වන විට අමෙරිකානු ඩොලර් බිලියන 63කට අධික අලාභයක් සිදුව ඇතියි, විදෙස් මාධ්‍ය පවසනවා. යුක්‍රේනයේ නාගරික නිවාස සංකීර්ණ 4,000කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් විනාශ වී ගොස් තිබෙනවා. එසේම, කර්මාන්ත ශාලා 92ක්, ගුවන්තොටුපොළ 12ක් සහ තවත් යටිතල පහසුකම් විශාල ප්‍රමාණයක් රුසියානු ප්‍රහාරවලින් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් විනාශ වී ඇතැයි,  වර්තා වනවා.

    මේ අතර, රුසියාවේ පාලන තන්ත්‍රයේ වෙනසක් කිරීමට අමෙරිකාවට අවශ්‍යතාවයක් නැතැයි,  අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කරනවා. රුසියානු ජනාධිපතිවරයා තවදුරටත් බලයේ රැඳී නොසිටිය යුතු බව, මීට පෙර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සඳහන්කර සිටියා. ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් රාජ්‍ය ලේකම් ඇන්තනී බිලින්කන් කියා සිටියේ, එම ප්‍රකාශයෙන් ජනාධිපතිවරයා අදහස් කළේ,  රුසියාවේ පාලන තන්ත්‍රයේ වෙනසක් සම්බන්ධයෙන් නොවන බවයි.

    Latest News