රුසියාව, ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ස්වාධීන ප්‍රදේශ ලෙස පිළිගනී

පෙබ 22, 2022

    යුක්‍රේනයේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශ 2 ස්වාධීන ප්‍රදේශ ලෙස තමා පිළිගන්නා බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සඳහන් කරයි.

    එම ප්‍රදේශවලට තම හමුදා යැවීමටත් රුසියානු ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් රුසියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    එහිදී ඔහු කියා සිටියේ තම හමුදා එම ප්‍රදේශවල සාමය රැක ගැනීමේ කටයුතුවල නිරත වන බවයි. රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ 1991 වසරේ සෝවියට් සමූහාණ්ඩුව කඩා වැටෙන සමයේ රුසියාව මහා මංකොල්ලකෑමකට ලක්වූ බවයි.

    මේ වන විට යුක්‍රේනය අමෙරිකානු කොලණියක් වී ඇති බවත්, රූකඩ ආණ්ඩුවක් විසින් එරට පාලනය කරන බවත් රුසියානු ජනාධිපතිවරයා චෝදනා කර සිටියි. රුසියානු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ, රුසියාව වටා සිදු කරන නේටෝ ප්‍රසාරණයවීම් වහා නැවැත්විය යුතු බවයි.

    යුක්‍රේනය නේටෝ සංවිධානයට ඈදාගත හොත් වඩා දරුණු ප්‍රතිඵල ඇතිවිය හැකි බවයි, රුසියානු ජනාධිපතිවරයා අනතුරු අඟවා සිටියේ.

    කෙසේ වෙතත් රුසියානු හමුදා යුක්‍රේන දේශසීමාව ඉක්මවා එම ප්‍රදේශවලට ඇතුල් වී ඇති බවක් මෙතෙක් වාර්තා වී නැහැ. රුසියානු ජනාධිපතිවරයාගේ මෙම තීරණයට බටහිර රටවල් රැසක් තම අප්‍රසාදය පළකර තිබේ. අමෙරිකාව රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට ද කටයුතු කර ඇති බවයි, වාර්තා වන්නේ.

    මේ වන විටත් එක්ලක්ෂ පනස් දහසකට අධික රුසියානු හමුදා භට පිරිසක් යුක්‍රේනය වට කර ස්ථානගත කර තිබේ. බෙලරුස් රාජ්‍යයේ සිටින 30,000ක පමණ හමුදා භට කණ්ඩායම් ද මීට අයත්.

    Last modified on අඟහරුවාදා, 22 පෙබරවාරි 2022 12:13

    Latest News