මැඩ්‍රිඩ් නුවර මැතිවරණ ජය ගතානුගතික ජනතා පක්ෂයට

මැයි 05, 2021

    ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් අගනුවර කලාපීය මැතිවරණයේ ජය ගතානුගතික ජනතා පක්ෂය හිමි කර ගෙන තිබේ.

    කෙසේ වුවද, බහුතර බලයක් හිමි කර ගැනීමට පක්ෂයට නොහැකි වීමෙන් මැඩ්‍රිඩ් සභාව තුළ බලය තහවුරු කර ගැනීම සඳහා වොක්ස් පක්ෂය සමග සන්ධානගත වීමට සිදු වනු ඇති.

    වත්මන් කලාපීය ප්‍රධානී ඉසබෙල් ඩියාස් අයිසෝගේ නායකත්වයෙන් යුත් ජනතා පක්ෂයට හිමිව ඇති ආසන සංඛ්‍යාව 65 ක්. ආසන 136කින් යුත් කලාපීය සභාවේ බලය ලබා ගැනීමට ආසන 69ක බහුතර බලයක් හිමි කර ගත යුතුයි. මැතිවරණය ඊයේ පැවැත්වුණේ, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්.

    ගතානුගතික ජනතා පක්ෂ 2019 වසරට වඩා දෙගුණයක ආසන සංඛ්‍යාවක් හිමිකර ගෙන තිබේ. කෙසේ වුවද, ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙඩ්‍රෝ සැන්චෙස් ගේ සමාජවාදී පක්ෂය මෙවර මැතිවරණයේ කැපී පෙනෙන පසුබෑමක් පෙන්නුම් කළේය.

    2019 වසරේ හිමි වූ ආසන 37 මෙවර ආසන 24ක් දක්වා අඩු වී ඇත්තේ, ඒ අනූවයි. මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 76.2ක් බව එරට මැතිවරණ නිලධාරීන් පවසයි. එය 2019 වසරට සාපේක්ෂව 11%ක ඉහළ යාමක්.

    මැතිවරණයේ ජය හිමි කර ගත් ඉසබෙල් ඩියාස්ගේ පක්ෂයේ ආධාරකරුවන් මේ වන විට ජය සමරන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    Last modified on බදාදා, 05 මැයි 2021 11:04

    Latest News