සඳ මත සිටවූ බීජ පැළිවෙයි

ජන 17, 2019

    චීනයේ චෑං e-4 නමැති අභ්‍යවකාශ යානය මඟින් ගෙන ගොස් සඳ මත සිටුවන ලද බීජ පැළ වී ඇතැයි චීනයේ ජාතික අභ්‍යවකාශ අධිකාරිය (China National Space Administration) පවසයි.

    සඳ මත යම් ජීව විද්‍යාත්මක ද්‍රව්‍යයක් රෝපණය වූ පළමු අවස්ථාව ලෙස මෙය සටහන් වන අතර එය දීර්ඝ අභ්‍යවකාශ තරණයන් සඳහා තැබූ වැදගත් පියවරක් ලෙස සැලකේ. Chang e- 4 යනු පෘථිවියට ප්‍රතිවිරුද්ධව පිහිටි සඳේ මතුපිට පෘෂ්ඨයට ගොඩ බැස්වූ පළමු අභ්‍යවකාශ යානයයි.එම පෘෂ්ඨයේ භූගර්භ විද්‍යාත්මක ලක්ෂණ විශ්ලේෂණය කිරීම සඳහා අවශ්‍ය උපාංග රැගත් චෑං e-4 යානය සඳ මත ගොඩ බැස් වූයේ, ජනවාරි මස 3 වැනි දාය.මීට පෙර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ශාක රෝපණයක් සිදු කර ඇතත් සඳ මත මීට පෙර ශාක රෝපණය කැර නොතිබිණි. සඳ මත ශාක රෝපණය කළ හැකි වුවහොත් එය අඟහරු තරණය වැනි වසර දෙකහමාරක් තරම් කාලයක් ගත වන දීර්ඝ අභ්‍යවකාශ ගමන්වලට උපකාර වනු ඇත.

    ඒ අනුව, ගගනගාමීන්ට ආහාර රැගෙන යෑම සඳහා යළි පෘථිවියට නොපැමිණ අභ්‍යවකාශය මත ම සිය ආහාර නිෂ්පාදනය කැර ගත හැකි වනු ඇත.චීන චන්ද්‍ර යානය මඟින් පුළුන් බීජ, අර්තාපල් බීජ, යීස්ට් සහ බිම්මල් බීජ ආදිය යෙදූ පස් සඳ වෙත රැගෙන යන ලදී.මෙම ශාක යානය තුළ ඇති මුද්‍රා තබන ලද බහාලුම්වල තබා තිබේ. මෙම වගාව හරහා කෘත්‍රිම, ස්වයං පෝෂිත ජෛව ගෝලයක් නිර්මාණය කිරීමට නියමිතය. සඳ මත ඇති පුළුන් බීජ දලු දමා ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය පසුගියදා (15) නිවේදනය කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 ජනවාරි 2019 09:55

    Latest News