නවාල්නි, විෂ ශරීරගත වීමකට ලක්ව නැහැ; වෛද්‍යවරු

අගෝ 22, 2020

    හදිසියේ රෝගාතුර වූ රුසියානු විපක්‍ෂ ප්‍රධානි ඇලෙක්සි නවාල්නි, විෂ ශරීරගත වීමකට ලක්ව නැතැයි එරට වෛද්‍යවරු තහවුරු කරයි.

    විපක්‍ෂ දේශපාලඥයා ගුවන් ගමනකදී හදිසියේ රෝගාතුර වී අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කෙරිණ. රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්, දැඩි ලෙස විවේචනය කරන්නෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන ඇලෙක්සි නවාල්නි හදිසියේ රෝගාතුරවීම ගැන විවිධ මත පළවෙමින් තිබිණ. ඔහුගේ ආධාරකරුවන් චෝදනා කළේ, නවාල්නි, විෂ ශරීරගත වීමකට ලක්ව ඇති බවයි.

    ගුවන් තොටුපළේදී ඔහු පානය කළ තේ කෝප්පයකට විෂ මිශ්‍ර වී ඇති බවට ආධාරකරුවන් තුළ සැකයක් පැවතිණ. එහෙත්, වෛද්‍ය පරීක්‍ෂණවලින් පසුව විශේෂඥ වෛද්‍යවරුන් කියා සිටියේ, නවාල්නිගේ සිරුර තුල කිසිදු විෂක් දක්නට නොලැබෙන බවයි. අසාධ්‍ය තත්වයේ පසුවන රුසියානු විපක්‍ෂ ප්‍රබලයා ජර්මනියට ගෙනයාමට එරට සිවිල් සංවිධානයක් උත්සහ කළ ද, වෛද්‍යවරුන්ගේ අනුමැතිය නොලැබීම නිසා එය මෙතෙක් ක්‍රියාත්මක කෙරුණේ නැත.

    වෛද්‍ය පහසුකම් සහිත ගුවන් යානයක් ඒ සඳහා ජර්මනියේ සිට රුසියාවේ මධ්‍යම ටොම්ස්ක් නගරයට පැමිණ තිබේ.

    Latest News