ඕස්ට්‍රේලියාවේ අලුතින් කොරෝනා ආසාදිතයන් 395ක්

අගෝ 03, 2020

    ඕස්ට්‍රේලියාවේ අලුතින් කොරෝනා වෛරස් ආසාදිතයන් 395 දෙනෙකු හඳුනාගෙන තිබේ.

    එරටින් වාර්තා වූ කොරෝනා නව මරණ සංඛ්‍යාව 13ක්. මේ අතර, ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ හදිසි ආපදා තත්වයක් ඊයේ ප්‍රකාශයට පත් කෙරිණ.

    වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නගරයේ සංචරණ සීමා සහ ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට ද බලධාරීන් ඊයේ පියවර ගනු ලැබීය. එළඹෙන සැප්තැම්බර් මාසයේ මැද භාගය තෙක් මෙම නීති ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධානී ඩැනියල් ඇන්ඩ්‍රෙවිස් ඊයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ජාවක් පවත්වමින් නව සංචරණ සීමා සහ ඇඳිරි නීති තත්වය ප්‍රකාශයට පත් කළේය.

    ඒ අනුව ඊයේ සිට ඉදිරි සති 06 සඳහා දිනපතා රාත්‍රී 8.00 සිට පසුදා අලුයම 05.00 දක්වා ඇඳිරිනීතිය බල පැවැත්වෙනු ඇත. එමෙන්ම, මෙල්බර්න් වැසියන්ට තම නිවෙස්වල සිට කිලෝමීටර 05ට වැඩි දුරක් සහිත ප්‍රදේශ වෙත ගමන් කිරීම ද තහනම් කෙරිණ. නිවසට අවශ්‍ය අත්‍යවශ්‍ය භාන්ඩ මිලදී ගැනීම සඳහා දිනකට එක්වරක් වෙළෙඳ සැල් වෙත යාමට අවසර ලබාදී ඇත්තේ, එක් නිවසකින් එක් පුද්ගලයෙකුට පමණි.

    ප්‍රාන්තයේ වෙළෙඳසැල් සඳහා බල පැවැත්වෙන සීමා අද ප්‍රකාශයට පත් කෙරෙන බව, වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධානීවරයා සඳහන් කර ඇත. ප්‍රදේශයේ පාසල් ද දුරස්ථ ඉගෙනුම් ක්‍රමවේදයක් සඳහා යොමුවීමට තීරණ්‍ය කර තිබේ.

    මේ අතර එළඹෙන බදාදා මධ්‍යම රාත්‍රියේ සිට මෙල්බර්න් නගරයෙන් පිටත ප්‍රදේශ සඳහා ද දැඩි සීමාවන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව, විදෙස් වාර්තාවල සඳහන්.

    Latest News