ලොව ජාතීන් රැසක් ඉතා අසීරු හා අවාසනාවන්ත ඉරණමක

ජූලි 22, 2020

    කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ලොව සංවර්ධිත මෙන්ම, සංවර්ධනය වෙමින් පවත්නා ජාතීන් රැසක් ඉතා අසීරු හා අවාසනාවන්ත ඉරණමකට මුහුණ පා සිටී.

    මහාද්වීපයක් වශයෙන් ගත් කළ, ඉතා බරපතල ඛේදවාචකයකට මුහුණ පා සිටින්නේ ලතින් අමෙරිකාවයි. එහි සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 35න් ලක්‍ෂය ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව එක් ලක්‍ෂ 50,000කට අධිකයි.

    අද වනවිට ගෝලීය වශයෙන් වාර්තා වන කොවිඩ්-19 රෝගීන්ගේ සංඛ්‍යාව එක්කෝටි 51ක් ලක්‍ෂයක්. හය ලක්‍ෂ 20,000කට ජිවිත අහිමිවිය. පූර්ණ සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 91 ලක්‍ෂයක්.

    ලතින් අමෙරිකාව මුහුණ දී ඇති කොවිඩ්-19 ඛේදවාචකය කොතරම් බරපතල ද යන්න, පැහැදිලි කිරීමට කුඩා රටක් වන ඉක්වදෝරයේ තත්වය උදාහරණයක් ලෙස පෙන්වා දිය හැක. වර්ග කිලෝ මීටර දෙලක්‍ෂ 83,000ක විශාලත්වයෙන් යුත් මේ රාජ්‍යය පිහිටා ඇත්තේ දකුණු අමෙරිකානු මහාද්වීපයේ වයඹ දෙසට නැඹුරුවයි.

    මේ ඉක්වදෝරයේ හයා කුයිටෝ නගරයේ ප්‍රධාන සුසාන භූමියයි. මියගිය කොරෝනා ආසාදිතයන්ගේ සිරුරු වාහනවල පටවාගත් ඥාතීන් බලා සිටින්නේ, ඒවා භූමිදානය කිරිමට ඉඩක් ලැබෙන තෙක්. ඇතැම් විට දින දෙකක් පමණ මේ ආකාරයෙන් පෝලිමේ සිටිමට ඔවුන්ට සිදුවේ. ආසාදිත මළසිරුරුවලින් දුර්ගන්ධය අඩුකර ගැනීම සඳහා ඔවුන් කරන්නේ, මිනී පෙට්ටි ප්ලාස්ටික් කොළවලින් ඔතා මුද්‍රා තැබීමයි.

    “අපි ඉක්වදෝර්වාසීන් මෙහෙමයි ජීවත් වෙන්නේ. අපි ගැන සොයන්න, බලන්න කවරුත් නැහැ“

    මේ වනවිට ඉක්වදෝරය ඉතා බරපතල සෞඛ්‍ය අර්බුදයකට මුහුණ පා ඇතැයි එරට සෞඛ්‍ය ඇමති ජුවාන් කාලෝස් සෙවෙල්ලෝස් පවසයි. කුයිටෝ අගනුවර නගරාධිපතිවරයා පවසන්නේ, ශීඝ්‍රයෙන් ඉහළ  යන රෝගීන් පිරිසට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය ඵහසුකම් ප්‍රමාණවත් නොවන බවයි. කුඩා නගරවල තත්වය ද මෙවැනිම ස්වරූපයක් ගෙන තිබේ. මේ නිසා රෝහල්වල නිරන්තරයෙන් ගුටිබැට හුවමාරු පවා සිදුවේ.

    සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ද දැඩි අනතුරකට මුහුණ පා ඇත. මේ වනවිට හෙදියන් 12ක් මියගොස් තිබේ. රෝගීන්ට තවදුරටත් ප්‍රතිකාර කිරීමේ ශක්තියක් තමන්ට නොමැති බව ඔවුන් ප්‍රකාශ කරයි.

    “මට හුස්මගන්න අමාරුයි. මම ඒ බව කියල ප්‍රතිකාර කරන ලෙස ඉල්ලුවා. එහෙත්, මේ අය බලා ඉන්නේ මම මැරෙන තෙක්ද?

    ප්‍රතිකාර ලබාදීමට රෝහල්වල ඉඩ නොමැති නිසා, බොහෝ අය කොවිඩ්-19 රෝගීන් නිවාසවලම තබා ගන්නවා. රෝගය ව්‍යාප්තවීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ එම අවදානමයි. දෙවැනි බරපතල සෞඛ්‍ය තර්ජනය රෝගයෙන් මියගිය පුද්ගලයන් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුව භූමදානය කිරීමට පහසුකම් නොමැති වීමයි. මේ නිසා, මළසිරුරු දින කිහිපයක් නිවෙස්වල තබා ගැනීමට ඔවුන්ට සිදුවේ. එලෙස මියගිය ඔර්ලැන්ඩෝ නමැත්තාගේ සිරුර දින 4ක් පුරා නිවසේ තබාගෙන සිටීමසට ඥාතීන්ට සිදුව තිබේ.

    “මේක ඉතා අපහසු තත්වයක්, දුර්ගන්ධය ඉවසන්නට බැහැ. ඒ නිසා අපි ගේ ඇතුලටවත් යන්නේ නැහැ“

    මේ තත්වයට මුහුණ දුන් බොහෝ දෙනා කරන්නේ මළසිරුරු ගෙනවිත් මහමඟ හෝ වෙනත් ප්‍රසිද්ධ ස්ථානයක අතහැර දමා යාමයි. ඉක්වදෝරයේ ඛේදවාචකයෙන් පෙන්නුම් කරන්නේ, ලතින් අමෙරිකාව කොරෝනා ව්‍යාප්තිය නිසා මුහුණ දී ඇති මහා ව්‍යසනයයි. ඇතැම් ආසියානු හා අප්‍රිකානු රටවල තත්වය ද මීට සමානයි. මෙවැනි

    ඛේදවාචකයන්ගෙන් ගැලවී සිටින්නේ, ලොව රටවල් අතලොස්සක් පමණයි. ශ්‍රී ලංකාව ද ඒ අතර වේ.

    Latest News