ධාරානිපාත වර්ෂාවෙන් කියුෂු දූපතේ 15ක් මරුට

ජූලි 05, 2020

    දකුණු දිග ජපානයේ කියුෂු දූපතට දින කිහිපයක් පුරා ඇඳ හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් 15 දෙනෙකු මියගොස් තිබේ.

    තවත් 09 දෙනෙක් අතුරුදන් වූහ. වර්ෂාව සමඟ හටගෙන ඇති දරුණු ගංවතුර තත්වය සහ සිදුවන නායයෑම් ඊට හේතුවයි. ඉන් මියගිය හෝ අතුරුදන් වූ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව, මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මේ වනවිට ආරක්‍ෂිත ස්ථාන කරා යොමුකර ඇති අවතැන්වූවන් පිරිස දෙලක්‍ෂයකට අධිකයි.

    අවතැන්වූවන් සඳහා සහන සැලසීමට මෙන්ම විපතට පත්වූවන් මුදවා ගැනීමට හමුදා භටයින් දස දහසකට අධික පිරිසක් යෙදවා තිබේ. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරන්නේ මින් පෙර කිසිදු දිනෙක කියූෂූ දූපතට ඇඳ හැලුණු මෙවැනි ධාරානිපාත වර්ෂාවක් පිලිබඳව වාර්තා වී නොමැති බවයි. මින් දැඩි දේපල හානියක් සිදුව ඇති අතර කුමමොතෝ නගරයේ පමණක් නිවාස 08ක් මුළුමනින්ම විනාශ විය.

    වැඩිවන වර්ෂාපතනය නිසා ජල මට්ටමේ ඉහළයාම හා තවදුරටත් නායයෑම් සිදුවිය හැකි බැවින් ජනතාව ගැන අවධානයෙන් පසුවන ලෙස ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ බලධාරීන්ට දැනුම් දී තිබේ.

    Latest News