ලොව සිව්වැනියාට ඉහළම කොරෝනා ආසාදිතයන් පිරිස ඉන්දියාවෙන්

ජූලි 05, 2020

    අද වනවිට ලොව සිව්වැනියාට ඉහළම කොරෝනා ආසාදිතයන් පිරිස වාර්තා වන ඉන්දියාවේ හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව හය ලක්‍ෂ 70,000 ඉක්මවා ගොස් තිබේ.

    ඒ අනුව, මෙතෙක් ලොව වැඩිම ආසාදිතයන් අතරින්, තෙවන ස්ථානයේ රැඳී සිටි රුසියාවේ, ආසාදිතයන් හය ලක්‍ෂ 74,000 ද අභිබවමින් හෙට වනවිට ඉන්දියාව ලොව තෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තාවන රට බවට පත්වනු ඇත.

    ඉකුත් දින කිහිපයේම ඉන්දියාවෙන් දෛනිකව වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 20,000 ඉක්මවා යාම ඊට හේතුවයි. ඉකුත් පැය 24 තුළ ඉන්දියාවෙන් හඳුනා ගැණුනු ආසාදිතයන් සංඛ්‍යාව 24,015ක් වන අතර, මරණ සංඛ්‍යාව 616ක්. ඒ මෙතෙක් දිනක් තුළ ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ලෙස සටහන් වේ. ඊයේ එරට වැඩිම ආසාදිත පිරිස හඳුනා ගැණුනේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයෙන්. එම සංඛ්‍යාව 7,000කට අධිකයි.

    අද වනවිට ගෝලීය වශයෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි 13න් ලක්‍ෂය ඉක්මවා ගියේය.

    ලොව පුරා සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව පන් ලක්‍ෂයකට අධිකයි. හැට හතර ලක්‍ෂය ඉක්මවූ රෝගීන් සංඛ්‍යාවක් පූර්ණ සුවය ලබා තිබේ.

    කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා එක්සත් රාජධානිය වසා දමා තිබී තෙමසකට පසු, වසා දැමීමේ නීති ලිහිල් කිරීමෙන් පසු එරට ජනතාවට ප්‍රථම වරට සිය රාත්‍රී කාලය එළිමහනේ ගත කිරීමට අවස්ථාව ලැබුණේ ඊයේ දිනයේ දී, ඒ දැඩි සෞඛ්‍ය නීතිවලට යටත්වයි. අවන්හල්, කොණ්ඩා කැපීමේ මධ්‍යස්ථාන හා රූපලාවන්‍යාගාර, රාත්‍රී සමාජ ශාලා, නාගරික උද්‍යාන යන සියල්ල ඊයේ ජනතාව වෙනුවෙන් විවෘත කෙරිණ. අද වනවිට එරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්‍ෂ 84,000 ඉක්මවයි.

    කොරෝනා වෛරස ව්‍යාප්තියට, එනම් මීට මාස 4කට පෙර අමෙරිකාව ඉතිහාසයේ අන් කවරදාටත් වඩා හොඳින් කටයුතු කරමින් සිටි බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ අනුව අමෙරිකාව අද වනවිට වසංගතයෙන් මිදීම සඳහා සටන් කිරීමට ආසන්න තත්වයක පසුවන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි. ඔහු මෙසේ පවසා සිටියේ, එරට නිදහස් දිනයට සමගාමීව නිකුත් කළ ට්විටර් පණිවිඩයක් හරහා.

    කෙසේ වෙතත්, ඉකුත් පැය 24 තුළ අමෙරිකාවෙන් නව ආසාදිතයන් 45,182ක් හඳුනැ ගැණින. සිදුවූ මරණ සංඛ්‍යාව 254ක්.

    මේ අතර, රිපබ්ලිකන් පක්‍ෂය නියෝජනය කරන ඩොනල්ඩ් ට්‍රම්ප්, කොරෝනා මර්දනය සඳහා මුව ආවරණ පැළඳීම සම්බන්ධව කිසිදු සැලකිල්ලක් නොදක්වයි. එහෙත් ඩිමොක්‍රටික් පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක ජෝ බයිඩන්, මුව ආවරණ පැළඳීමට දිරිමත් කිරීමේ වෙනස්ම ආකාරයේ උත්සාහයක නිරත වන බව, එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. නිදහස්දින සැමරුම සඳහා ට්විටර් පණිවුඩයක් නිකුත් කළ ජෝ බයිඩන් පවසන්නේ, මේ මොහොතේ මුව ආවරණ පැළඳීම වඩාත්ම දේශප්‍රේමි කටයුතුවලින් එකක් බවයි.

    1,111ක් ලෙස ඉකුත් පැය 24 තුළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ බ්‍රසීලයෙන්. අද වනවිට එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්‍ෂ 15 ඉක්මවයි. ඒ අතරින් ආසාදිතයන් 35,035ක් හඳුනාගත්තේ ඊයේ දිනයේදී.

    මැලේරියා ඖෂධයක් ලෙස යොදාගන්නා “හයිඩ්‍රොක්සික් ක්ලෝරොක්වීන් සහ එච්.අයි.වී. සඳහා භාවිත කරන ඖෂධ කොරෝනා වෛරසය මර්දනය සඳහා භාවිතා කිරීමට කළ අත්හදා බැලීම් නවතා දැමීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ. ඒ අද වනවිට රෝහල්වලදී සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාව අවම කරගැනීමට නොහැකිවීම නිසා බව ඔවුන් පවසයි.

    Latest News