පොලිසිය අතින් කළු ජාතිකයෙකු මිය යෑමත් සමග අමෙරිකාවේ නගර රැසක විරෝධතා

මැයි 30, 2020

    අමෙරිකාවේ නගර රැසක දරුණු ගැටුම් හටගෙන තිබේ.

    46 හැවිරිදි කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් මියයාමේ සිද්ධියෙන් පසු ප්‍රචණ්ඩ ක්‍රියා හටගත්තේය. පොලිස් කෘෘරත්වයට එරෙහිව හා කළු ජාතිකයන්ට සාධාරණය පතමින් විවිධ ජන කොටස් උද්ඝෝෂණවලට එක්ව සිටී. අමෙරිකාවේ ප්‍රාන්ත 50න් 25කට ආසන් න සංඛ්‍යාවක මේ වනවිට උද්ඝෝෂණ සිදු කෙරේ.

    පසුගිය සඳුදා මිනසෝටා ප්‍රාන්තයේ මිනියාපොලිස් නගරයේ දී 46 හැවිරිදි ජෝර්ජ් ෆ්ලොයිඩ් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබිණ. ඒ, ව්‍යාජ මුදල් නෝට්ටුවක් ළඟ තබාගත් බවට චෝදනා කරමින්. අත් අඩංගුවට ගැනීමේදී ඔහුට සැලකූ ආකාරය තරුණයෙකු විසින් රූගත කර තිබිණ. පොලිස් රථය ළඟට ඇදගෙන එනු ලැබූ සැකකරු බිම දමා පොලිස් නිලධාරින් තිදෙනෙකු ඔහුගේ සිරුර මත නැඟ සිටින ආකාරය වීඩියෝවේ සටහන් වී තිබිණ. ඒ අතරින් පොලිස් භට ඩෙරික් චෞවින් සැකකරුගේ ගෙල සිය දණහිසින් සිර කරගෙන සිටියේය. එවිට සැකකරු “මට හුස්ම ගන්නට බැහැ“

    ඒ, සැකකරුගේ අවසන් හුස්ම පිටවීමට පෙර මුවින් පිටවූ අවසන් වදන් පෙළයි. ‍සුදු ජාතික පොලිස් නිලධාරියා ජෝර් ෆ්ලොයිඩ්ගේ ගෙල විනාඩි 08ක කාලයක් දණහිසින් සිර කරගෙන සිටි බව පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.

    සැකකරුගේ ප්‍රාණය නිරුද්ධ වී විනාඩි තුනක් ගතවනතුරුත් ඔහු ගෙල සිර කළ බව මූලික පරීක්‍ෂණවල දැක්වේ.

    වීඩියෝ දර්ශන පෙළ සමාජ මාධ්‍ය ඔස්සේ ඉන් පසු ප්‍රධාන මාධ්‍ය ඔස්සේත් ප්‍රචාරයවීමට පටන් ගත්තේ, සමස්ත අමෙරිකාවේම ජනතාව තුළ විශාල කම්පනයක් ඇති කරමින්. විශේෂයෙන් ඉතිහාසය පුරා වරින්වර කලු ජාතිකයන් සුදු ජාතික පොලිස් භටයන් අතින් මියයාම යළි යළිත් සිහිපත් කෙරිණ. සාධාරණය පතමින් විවිධ ජනකොටස් මහමඟට බැස්සේ ඉන් අනතුරුවයි. එහෙත්, අමෙරිකාවේ සාමාන්‍ය ලෙස සිදුවන පරිදිම එම උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගත්තේය. ඇතැමුන් ගොඩනැගිලි ගිනිතබා, කඩසාප්පු කොල්ල කා තිබේ.

    උද්ඝෝෂකයන්ට දුටු තැන වෙඩි තැබිය යුතු බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ට්විටර් සටහන බොහෝ දෙනාගේ කෝපයට හේතුවිය. ට්විටර් ජාලය එය ඉවත් කර තිබිණ. එහෙත්, උද්ඝෝෂකයන් ප්‍රචණ්ඩකාරීවීමට එය ද එක් හේතුවක් ලෙස සැලකේ. ධවල මන්දිරය අසළට රැස් වූ පිරිස් කොරෝනා තහනම් නීති ද නොතකා ට්‍රම්ප්ට එරෙහිව උද්ඝෝෂණය කළේය.

    මිනියාපොලිස් නගරයෙන් ආරම්භ වූ ගැටුම් මේ වනවිට නිව්යෝර්ක්, ඇට්ලැන්ටා, වොෂින්ටන්, ලොස් ඇන්ජලීස්, සැක්‍රමැන්ටෝ, ඕක්ලන්ඩ්, සැන්ප්‍රැන්සිස්කෝ, ඩෙන්වර්, චිකාගෝ, ඉන්දියානාපොලිස්, බෝස්ටන් වැනි ප්‍රධාන නගර ඇතුළු නගර 33ක උද්ඝෝෂණ සිදුවේ.

    සාමාන්‍යයෙන් පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අමෙරිකාවේ පමාවීම සිදුවුවත්, මේ සිද්ධියේදී මිනසෝටා ප්‍රාන්ත බලධාරින් කඩිනමින් ක්‍රියාත්මක වී තිබේ. ඒ, ජනතා විරෝධයේ ප්‍රතිඵලයක් ලෙස. සැකකාර පොලිස් නිලධාරින්ගේ වැඩ තහනම් කළ අතර, ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ගෙල සිර කළ 43 හැවිරිදි පොලිස් නිලධාරි ඩෙරික් චෞවින් මිනී මැරුම් චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබීය.

    ප්‍රචණ්ඩකාරීත්වය මැඩලීම සඳහා ප්‍රදේශ කිහිපයක ඇඳිරි නීතිය පනවා තිබේ. ප්‍රාන්ත පොලිස් සේවාවන්ට අමතරව ජාතික ආරක්‍ෂක බලමුළුව හා ඇතැම් ස්ථාන වෙත යුද හමුදාව ද යොමුකර තිබේ. හානි වූ ස්ථාන අතරට ඇට්ලැන්ටා නුවර සී එන් එන් මාධ්‍ය මූලස්ථානය ද අයත්වේ.

    උද්ඝෝෂණ අතරවාරයේ අපරීක්‍ෂාකාරී ලෙස හැසිරුණු මිනසෝටා ප්‍රාන්ත පොලිසිය ප්‍රචණ්ඩකාරීන් වෙනුවට සී එන් එන් රූපවාහිනී කණ්ඩායම අත්අඩංගුවට ගත්තේ, ඔවුන් සජීවි විකාශයක් සිදු කරමින් සිටින අවස්ථාවකයි. සී එන් එන් වාර්තාකරු ඔමාර් ජෙම්නේස් කරුණු පැහැදිලි කරද්දී පොලිස් නිලධාරීන් එය නොතකා ඔහු අත්අඩංගුවට ගත්තේය. එය ලොව පුරා දහස් සංඛ්‍යාත පිරිස් සජිවි ලෙස දැක ගත්තේය.

    “ඔහු මේ වෙලාවේ සී එන් එන් සජිවි විකාශයක් සිදු කරනවා. ඔබලා මේ අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නේ සජිවි රූපවාහිනී විකාශය මධ්‍යයේ මාව අත්අඩංගුවට ගන්නේ ඇයි....

    සී එන් එන් මාධ්‍ය කණ්ඩායම පැය දෙකක් තුළ නිදහස් කරනු ලැබීය. ඒ, මාධ්‍යයට එරෙහි පොලිස් ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් අලුතින් මතවාද හා ජනතා විරෝධය නැගී එමත් සමඟයි. මිනසෝටා ප්‍රාන්ත ආණ්ඩුකාර ටිම් වෝල්ට්ස් සී එන් එන් සේවයෙන් සමාව ඉල්ලා තිබේ. මේ අත්අඩංගුවට ගැනීම අමෙරිකානු ව්‍යවස්ථාවට පටහැනි බව වාර්තාවේ.

    Latest News