චීනයට වඩා චීනයෙන් පිටත රටවලින් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව ඉහළට

මාර් 16, 2020

    මෙතෙක් චීනයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව ඉක්මවා, චීනයෙන් පිටත රටවලින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව අද දිනයේ ඉහළ ගොස් තිබේ.

    අද වනවිට චීනයේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 80,880ක් වන අතර, සෙසු රටවලින් හමුවූ ආසාදිත පිරිස 87,000ක්.

    ඉතාලියේ 24,747 දෙනෙකු ආසාදිතයන් වන අතර මරණ 1,809ක් සිදුව තිබේ. ස්පාඤ්ඤයේ ද කොරෝනා මරණ 297ක් වාර්තා විය. එහි ආසාදිත පිරිස 8,794ක්. ප්‍රංශය සහ ජර්මනිය යන දෙරටේම ආසාදිත පිරිස 11,000කට අධිකවේ. ප්‍රංශයෙන් මරණ 127ක් ද ජර්මනියෙන් මරණ 13ක් ද වාර්තා විය.

    මේ අතර අමෙරිකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් 126 දෙනෙකු අද වාර්තා වීමත් සමඟ එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 3,806ක් ලෙස සටහන් විය. මරණ සංඛ්‍යාව 69ක්. ඊට අමතරව අද දවස තුළ දකුණු කොරියාවෙන් නව ආසාදිතයන් 74 දෙනෙකු හඳුනා ගැනින. ඒ අනුව එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 8,236ක්. මරණ සංඛ්‍යාව 75ක්. ඉතාලියට පසුව ඉහළම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉරානයෙන්.

    එනම්, 14,991ක්. මරණ සංඛ්‍යාව 853යි. ලොව පුරා රටවල් හා රාජ්‍ය 158ක ව්‍යාප්තව පවතින කොරෝනා වෛරසය හේතුවෙන් මෙතෙක් මියගිය සංඛ්‍යාව 6,665ක්.

    සුවය ලැබූ පිරිස 77,789ක්. මේ අතර අද දිනය තුළ ආසියානු කලාපයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගත්තේ පකිස්තානයෙන්. එය 49 ක් ලෙස වාර්තා වූ අතර, එරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 102ක් දක්වා ඉහළ ගොස් තිබේ. එක් මරණයක් ද පකිස්තානයෙන් වාර්තා විය. මේ අනුව ලෝකයේ සමස්ත ආසාදිත සංඛ්‍යාව මේ වනවිට එක් ලක්‍ෂ හැත්තෑ තුන්දහස් 281යි.

    චීනයට පැමිණෙන විදේශීය සංචාරකයන් සඳහා වන රෙගුලාසි දැඩි කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව සියලු විදෙස් සංචාරකයන් දින 14ක නිරෝධායනයකට ලක්වීම අනිවාර්යයයි. චීනයේ පළාත් 8කට පැමිණි විදේශ සංචාරකයන් 120 දෙනෙකුට, කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම නව තීරණයට හේතුවයි.

    දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රම්ෆෝසා ඊයේ සවස ජාතිය අමතමින් එරටට ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කළේය. එමෙන්ම අධික අවදානම් සහිත රටවලින් කෙරෙන සංචාර ද තහනම් කෙරිණ.

    මේ අතර ජර්මනිය, ඔස්ට්‍රියාව, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, ලක්සම්බර්ග් හා ඩෙන්මාර්කය යන රටවල් සඳහා වන දේශසීමා වසා දැමීමට තීරණය කර තිබේ.

    “අලිබබා“ වාණිජ වෙබ් අඩවියේ සම නිර්මාතෘ කෝටිපති ව්‍යාපාරික ජැක් මා කෙරෝනා රෝගීන් සඳහා සිදු කරනු ලබන පරීක්‍ෂණ සඳහා අවශ්‍ය උපකරණ කට්ටල ලක්‍ෂ 5ක් සහ මුඛ ආවරණ මිලියනයක් අමෙරිකාවට යැවීමට තීරණය කර තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, ඔහු මේ බව සඳහන් කළේය. දැනටමත් ජපානයට, දකුණු කොරියාවට, ඉතාලියට ඉරානයට සහ ස්පාඤ්ඤයට ඔහු මේ ආධාර ලබාදී ඇති බව ද මාධ්‍ය වාර්තාවල සඳහන්.

     

     

     

     

    Last modified on සදුදා, 16 මාර්තු 2020 20:42

    Latest News