රෆෙල් ජෙට් යානා ගිවිසුම ගැන පරීක්‍ෂණ අනවශ්‍ය බවට, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

දෙසැ 14, 2018

    ඉන්දීය රුපියල් කෝටි පනස් නව දහසකට ආසන්න වටිනාකමින් යුත් රෆෙල් ජෙට් යානා 36ක් ප්‍රංශයෙන් මිලදී ගැනීම සඳහා වන නරේන්ද්‍ර මෝදි රජයේ ගිවිසුම සම්බන්ධයෙන් පරීක්‍ෂණ අනවශ්‍ය බවට, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

    එම තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණේ අදාළ ගිවිසුම විමර්ශනවලට ලක් කළ යුතු ද යන්න පිළිබඳව අගවිනිසුරු රන්ජන් ගොගෝයි මහතා ඇතුළු ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද විභාගයට ගැනුණු අවස්ථාවේදීයි.

    ඉන්දියාව, 2015 වසරේ දී මේ ගිවිසුමට එළඹ ඇත්තේ ප්‍රංශයේ ඩස්සෝල්ට් සමාගම සමඟයි. ඒ ප්‍රංශයේ හිටපු ජනාධිපති ප්‍රාන්ශුවා ඔලොන්ද් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මුලිකත්වයෙනි.

    මේ පිළිබඳ නඩු විභාගයේදී ඉන්දීය රජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ අදාළ ගනු දෙනුවේ මිල ගණන් සම්බන්ධයෙන් ඇගයීම් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවයි. රෆෙල් ජෙට් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ඉන්දියාවේ ජාතික කොංග්‍රසය මෝදි රජයට දැඩි චෝදනා එල්ල කළේය.

    ඒ, ජෙට් යානා ගනුදෙනුවේ ඉන්දීය හවුල්කරු ලෙස රිලායන්ස් සමාගම් සමූහයේ අනිල් අම්බානි තෝරා ගැනීමේදී අදාළ සමාගමට විශේෂ සැලකිල්ලක් දැක්වූ බවට චෝදනා කරමිනි. අගවිනිසුරු රන්ජන් ගොගෝයි, සංජෙයි කිෂාන් කොවුල් සහ මැතිව් ජෝශප් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩු විභාගය පැවැත්විණ.

    අදාළ පෙත්සම ඉවතලමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේ ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කිරීමට ප්‍රමාණවත් සාධක නොමැති බවයි. මේ තීන්දුව ඉන්දීය රජය ලැබූ විශාල ජයග්‍රහණයක් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

     

    Latest News