“කොරෝනා“ චීනයෙන් බැහැරට ව්‍යාප්තවීමෙන් කොටස් වෙළෙඳපොළ දැඩි පසුබෑමක

පෙබ 28, 2020

    කොරෝනා වෛරසය ආසාදනය, චීනයෙන් බැහැරට ව්‍යාප්තවීමත් සමඟ ලෝකයේ කොටස් වෙළෙඳ පොළවල දැඩි පසුබෑමක් පෙන්නුම් කෙරේ.

    මේ වනවිට ලොව පුරා ආසාදිත සංඛ්‍යාව අසු තුන්දහස් 889ක්. මියගිය පිරිස දෙදහස් 867ක් ලෙසයි වාර්තා වන්නේ. ආසාදනය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ඉරානය අද ප්‍රධාන දේවස්ථානවල සිකුරාදා යාඥාවන් අවලංගු කළේය.

    රෝග ව්‍යාප්තවීම ආරම්භ වූ චීනයෙන් අද දිනයේ හමුවූ අලුත් රෝගීන් සංඛ්‍යාව 335ක්. මරණ 44ක් වාර්තා විය. චීනයේ සමස්ත මරණ සංඛ්‍යාව 2788ක්. මේ වනවිට චීනය කොරෝනා වෛරසය ආසාදිත සෙසු රටවලින් පුද්ගලයන් රට තුලට පැමිණිම සීමාකර තිබේ.

    චීනය හැරුණුකොට වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වන්නේ, දකුණු කොරියාවෙන්. මේ වනවිට එරට වාර්තා වී ඇති “කොවිඩ් 19“ රෝගීන් සංඛ්‍යාව 2337ක්. දකුණු කොරියාවේ මියගිය සංඛ්‍යාව 13ක්. රෝගය ව්‍යාප්තවීමට මුල් වූ බවට සැක කෙරෙන ආගමික මධ්‍යස්ථානය අද විශේෂ ආරක්‍ෂක පරීක්‍ෂණයකට ලක් කෙරිණ. එරට තත්වය පිළිබඳව ශ්‍රී ලාංකිකයන් ජාතික රූපවාහිනියට විශේෂයෙන් අදහස් පළ කළේය.

    යුරෝපය තුළ ශීඝ්‍රයෙන් මෙම රෝගය පැතිරයාමත් සමඟ රටවල් රැසක් හදිසි ක්‍රියාමාර්ග වෙත යොමුවිය. අද වනවිට යුරෝපයේ රටවල් 11කට රෝගය ව්‍යාප්ත වී තිබේ. වඩාත් දරුණු තත්වයකට පත්ව ඇත්තේ ඉතාලියයි.

    ජපානයේ ද කොරෝනා වෛරස් රෝග තත්වය පිළිබඳව තවදුරටත් හදිසි ක්‍රියාමාර්ග අනුගමනය කෙරෙමින් පවතී. ආරක්‍ෂක පියවරක් ලෙස පාසල් තාවකාලිකව වසා දැමීමට එරට රජය පියවර ගත්තේය.

    අප්‍රිකානු කලාපයේ මධ්‍යම සහරා ප්‍රදේශයට අද මුල්වරට කොරෝනා රෝගය ව්‍යාප්ත විය. නයිජිරියාවෙන් පළමු කොරෝනා රෝගියා හමුවූ බවට මාධ්‍ය වාර්තා පළවිය. යුරෝපයේ තවත් රටවල් කිහිපයක් කොරෝනා වෛරස් ආසාදනයට ගොදුරු විය. ඉරානයේ මියගිය සංඛ්‍යාව 34ක්. රෝගීන් පිරිස 388ක් දක්වා වැඩිවී තිබේ.

    යුරෝපය තුල රෝගය ව්‍යාප්තවීමත් සමඟ ස්විට්සර්ලන්තය එරට සුප්‍රකට ජිනිවා මෝටර් රථ දැක්ම අද අවලංගු කළේය. එමෙන්ම, ඉතාලියේ රූගත කිරීමට නියමිතව තිබූ “මිෂන් ඉම්පොසිබල්“ චිත්‍රපට මාලාවේ අලුත්ම කථාංගය රූගත කිරීම ද දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

    Latest News