සර්ෆින් ලෝක ශූරතාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් අරුගම්බේ දී

සැප් 30, 2019

    ලෝක ශූරතාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ සර්ෆින් (දියමත ලිස්සා යාමේ) තරගාවලියක් අරුගම්බේ මුහුදු තීරයේ පසුගිය දා පැවැත් විණි.

    ක්‍රීඩා අමාත්‍යංශය, ජාතික ඔලිම්පික් කමිටුව හා ශ්‍රී ලංකා සර්ෆින් ෆෙඩරේෂනය එක්ව එය සංවිධානය කර තිබිණි. සැප්තැම්බර් 25 සිට 29 දක්වා පැවති මෙම තරගාවලිය "2019 සෝ ශ්‍රී ලංකා ප්‍රෝ ලෝක සර්ෆින් ලීග් සුදුසුකම් ලැබීමේ 3,000 ඉසව්ව"(2019 So Sri Lanka Pro World Surf League Qualifying Series 3000 event) ලෙස නම් කර තිබිණි.

    surf 01

    එම තරගාවලියෙදී ඔස්ට්‍රේලියාවේ මිච් පාකින්සන් අතිවිශිෂ්ඨ දස්කම් දක්වමින් අවසන් මහා තරගයෙන් ජයගැනීමට සමත් විය. ඔහුගේ තරග ඉතිහාසයේ හොඳම වාර්තාව තබමින් ඔහු සහභාගී වූ සියලු ඉසව් ජයගැනීමට මිච් සමත් විය. ඒ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 15,000ක මුදල් ත්‍යාගයක් සහ කුසලානය ඔහුට පිරිනැමිණි. දෙවන ස්ථාන සඳහා වන අමෙරිකානු ඩොලර් 10,000ක මුදල් ත්‍යාගය ඉන්දුනීසියාවේ ඔනේ අන්වර් දිනාගත්තේය.

    එම අවසාන මහා තරගය වෙනුවෙන් පැවති උත්සවයේ ප්‍රධාන අමුත්තන් ලෙස සංචාරක කටයුතු සංවර්ධන, වනජීවි හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග සහ ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය දායා ගමගේ යන මහත්වරුන් සහභාගී වූහ.

    තරගාවලිය පැවති ඊයේ දිනයේ අරුගම්බේ වෙරළ තීරය සර්ෆින් ක්‍රීඩකයින්, විදේශීය සංචාරකයින් සහ දේශීය සංචාරකයින්ගෙන් පිරී යනු දැක ගත හැකි විය. ලෝක සංචාරක දිනය ද ඒ සමගම අරුගම්බේ හි දී සමරනු ලැබිණි.

    Last modified on බදාදා, 02 ඔක්තෝබර් 2019 20:20

    Latest News