රග්බි ලෝක කුසලාන පළමු තරගයේ ජය සත්කාරක ජපානයට

සැප් 20, 2019

    රග්බි ලෝක කුසලාන තරගාවලිය, අති උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය.

    මෙවර තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ ජපානයයි. 1987 වසරේ ආරම්භ කෙරුණු ලෝක කුසලාන රග්බි තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 9 වැනි වරටයි. නවසීලන්තය අවස්ථා තුනකදී රග්බි ලෝක ශුරයින් බවට පත්විය. දෙවරක් රග්බි ලෝක ශුරතාව දිනාගත්තේ ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාවයි. රග්බි ශුරතාව දිනාගත් රටවල් අතර එංගලන්තය ද වේ. රග්බි ලෝක කුසලාන තරගාවලියක් ආසියාතික රටක පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. මෙවර ඒ, බී, සී සහ ඩී යන ඛාණ්ඩ හතරක් යටතේ තරග පැවැත්විමට නියමිතයි. “ඒ“ කාණ්ඩය යටතේ තරග වදින්නේ අයර්ලන්තය, ජපානය, ස්කොට්ලන්තය, රුසියාව සහ සැමෝවා රාජ්‍යයයි. නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඉතාලිය, නැමිබියාව සහ කැනඩාව “බී“ කාණ්ඩයට ඇතුළත්. එංගලන්තය, ප්‍රංශය, ආජන්ටිනාව, එක්සත් ජනපදය හා ටොන්ගා රාජ්‍යය “සී“ කාණ්ඩයෙන් තරග වදිනවා. ඔස්ට්‍රේලියාව, වේල්සය, ජෝර්ජියාව, ෆිජී සහ උරුගුවේ කණ්ඩායම් “ඩී“ කාණ්ඩයට යටතේ තරග වැදීමට අපේක්‍ෂිතයි.

    තරගාවලියේ පළමු තරගය අද පැවැත්වුණේ සත්කාරක ජපානය සහ රුසියාව අතරයි. එම තරගය ලකුණු 30-10ක් ලෙස ජයගැනීමට ජපානය සමත්විය. ජපානය ලබාගත් ලකුණු 30ට, උත්සාහක ගෝල 4ක්, ප්‍රවර්තන ගෝල 2ක් සහ දඬුවම් පහර 2ක් ඇතුළත්. තරගාවලියේ මෙරට විකාශන අයිතිය හිමිව ඇත්තේ ජාතික රූපවාහිනියටයි.

    Latest News