අලුත්කළ වාර්තාව

මාර් 27, 2023

    20 – 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් තරගයක් ජය ගත් කණ්ඩායම ලෙස ඉතිහාස ගත වීමට දකුණු අප්‍රිකාව ඊයේ සමත් වුණා. ඒ, බටහිර ‍ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවැනි 20 – 20 ක්‍රිකට් තරගය ජය ගනිමින්.

    තරගය පැවැත්වුණේ සෙන්චූරියන් හිදී. කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලබා දුන්නා. ඒ අනුව ඔවුන්, පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 258 ක්.

    විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කර ජොන්සන් චාල්ස් පන්දු 46 කදී ලකුණු 118 ක් රැස් කළා. ඊට 4 පහර 10 ක් සහ 6 පහර 11 ක් ඇතුළත්. එය බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩයෙකු 20 -20 තරගයක වාර්තා කළ වේගවත්ම ශතකයයි. පිළිතුරු ලෙස ලකුණු 259 ක ඉලක්කයක් සමග දකුණු අප්‍රිකානු ඉනිම ආරම්භ කළේ කුවින්ටන් ඩී කො‍ක් සහ රීසා හෙන්ඩ්‍රික්ස්. ඔවුන් දෙදෙනා එක්ව පළමු පන්දුවාර 6 තුළ ලකුණු  102 ක් රැස් කිරීමට සමත් වුණා. එය ජාත්‍යන්තර 20 -20 පිටියේ පළමු පවර් ප්ලේ අවස්ථාවේදී කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යවයි. 

    දකුණු අප්‍රිකාව තරගය  ජය ගත්තේ පන්දුවාර 18 පන්දු 5 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 259 ක් රැස් කරමින් . එය මෙතෙක් ඉතිහාසයේ කණ්ඩායමක් 20 -20 තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජය ගත් තරගයක් ලෙසයි ඉතිහාසයට එක් වුණේ‍.  ක්වින්ටන් ඩී කොක් පන්දු 44 කට මුහුණ‍ දෙමින් ලකුණු 100 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 9 ක් සහ 6 පහර 8 ක් ඇතුළත් . මෙම තරගයේදී කණ්ඩායම් 2 ක රැස්කළ ලකුණු සංඛ්‍යාව 517 ක්. 20 -20 තරගයකදී දෙපිලේම ලකුණු 500 ඉක්මවූ පළමු අවස්ථාව ලෙසයි එය ඉතිහාසයට එක් වුණේ.

    Last modified on සදුදා, 27 මාර්තු 2023 11:56

    Latest News