කොදෙව්වන්ට සහ අයර් ලන්තයට ඡය

ඔක් 19, 2022

    ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අද පැවති තරගවලින් ජය හිමිකරගැනීමට අයර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමත් වුණා

    ඒ අනුව මේවන විට“බී” කාණ්ඩයට අයත් සියලු කණ්ඩායම් එක් තරගය බැගින් ජයගෙන සිටිනවා. අද පළමු තරගය පැවැත්වුණේ, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය අතරයි. ඒ,‍‍ හෝබාට් හිදී. තරගවලියේ තවදුරටත් රැදී සිටීමට නම්, අයර්ලන්තයට මේ තරගයේ ජයග්‍රහණය අනිවාර්ය වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 05ක් දැවී ලකුණු 176ක් රැස් කළා. මිචෙල් ජොන්ස් පන්දු 55කදී ලකුණු 86ක් ලබාගත්තේ, හතරේ පහර 06ක් සහ හයේ පහර 04ක් සමගයි.  පන්දු යැවීමේදී කර් ටිස් කැම්පර් කඩුලු 02ක් දවාගත්තා.

    අනතුරුව ලකුණු 177ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 04 ලකුණු 61ක් තුළ දවා ගැනීමට ස්කොට්ලන්ත පන්දු යවන්නන් සමත් වුණා. ඉන් පසුව කර් ටිස් කැම්පර් සහ ජෝර් ඡ් ඩොක්‍රොල් 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 119ක සබඳතාවක් ගොඩනැගුවා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කැම්පර් පන්දු 32කට මුහුණදෙමින් නොදැවී ලකුණු 72ක් රැස් කළා. ජෝර්ජ් ඩොක්‍රොල් නොදැවී ලකුණු 39යි. අයර්ලන්තය පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 180ක් රැස් කරමින් තරගයේ ජය හිමිකර ගත්තා.

    පළමු වටයේ “බී” කාණ්ඩය යටතේ තවත් තරගයක් අද පැවැත්වුණේ, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතරයි. තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් කොදෙව් කණ්ඩායමට මෙහි ජයග්‍රහණය අනිවාර්ය වුණා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 153ක් රැස් කළා. ජොන්සන් චාර්ල්ස් ලකුණු 45යි. පන්දු යැවීමේදී ශිකන්දර් රාසා කඩුලු 03ක් දවා ගත්තා.

    පිළිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩාමට පන්දුවාර 18යි පන්දු දෙකක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කරගත හැකිවූයේ, ලකුණු 122ක් පමණයි. ලූක් ලෝන්ග්වේ ලකුණු 29යි. පන්දු යැවීමේදී අල්සාරි ජෝසප් කඩුලු 4ක් සහ ජේසන් හෝල්ඩර් කඩුලු 3ක් බිඳ හෙලුවා. මේ තරගයෙන් කොදෙව් කණ්ඩායම ලකුණු 31ක ජයක් හිමිකරගත්තා.

    Latest News