ආසියානු කුසලානය අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා කණඩායම අද (24) දිවයිනෙන් නික්මයයි...

අගෝ 24, 2022

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණඩායම අද (24) පස්ව‍රුවේ දිවයිනෙන් පිටත්ව ගියා.

    තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ලබන 27 වැනිදා සිට පැවැත්වෙනවා.  ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී නිල ඡායාරූපයකට පෙනී සිටියා. කණ්ඩායමට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.  දසුන් ශානක එහි නායකත්වය දරන අතර, උප නායකයා චරිත් අසලංක.  

    ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේදී ‘බී’ කාණ්ඩයෙන් තරග වදිනවා. ඊට අයත් සෙසු රටවල් වන්නේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානයයි. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගය ලෙස, ලබන 27 වැනිදා ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග තරග වදිනවා.  ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය පැවැත්වෙන්නේ සැප්තැම්බර් පළමු වැනි දිනයි.   

    තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ තරග සැප්තැම්බර් 3 වැනිදා ආරම්භ කෙරෙන අතර, අවසන් තරග සැප්තැම්බර් මස 11 වැනිදා පැවැත්වෙන්නේ, ඩුබායි හිදී.  ආසියානු කුසළාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව අවස්ථා 5 කදී ශූරතාව හිමි කරගෙන තිබෙනවා.  ඒ, 1986, 1997,2004, 2008 සහ 2012 යන වසරවලදී.  අවසන් වරට 2018 දී පැවති ආසියානු කුසළාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා.  

    Latest News