ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගනී.....

දෙසැ 03, 2021

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට, ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත්වුණා.

    ඒ, දෙවැනි තරගයෙන් ද ලකුණු 164ක ජයක් හිමිකර ගනිමින්. තරගය අද අවසන් වූයේ, ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. අද දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 328ක් රැස්කර ගෙන සිටියා. අද පළමු කඩුල්ල ලෙස ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 39කට දැවී ගියා. ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම අත්හිටුවනු ලැබූවේ, කඩුලු 9ක් දැවී ලකුණු 345ක් රැස්කර ගෙන සිටියදී. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 155යි.

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා ලකුණු 297ක ඉලක්කයක් හිමිවුණා. දෙවැනි ඉනිම ආරම්භ කළේ, නායක ක්‍රෙග් බ්‍රැත්වේයිට් සහ ජර්මෙන් බ්ලැක්වුඩ්. බ්‍රැත්වේයිට් ලකුණු 6කට දැවී ගිය අතර බ්ලැක්වුඩ් ලකුණු 36යි.

    දිවා ආහාරයෙන් පසු තරගයේ වැඩි වාසි අත්කර ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. කොදෙව් කණ්ඩායමේ තුන්වැනි කඩුල්ල ලකුණු පුවරුව 92ක් ලෙස සටහන්ව තිබියදී දැවී ගියා. අනතුරුව, ලකුණු 40ක් ඇතුළත කොදෙව් කණ්ඩායමේ අනෙක් කඩුලු 7 දවා ගැනීමට ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් සමත්වුණා.

    විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින්, ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 35කට කඩුලු 5ක් බිඳ හෙළු අතර, රමේෂ් මෙන්ඩිස් ලකුණු 66කට කඩුලු 5යි. මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ටෙස්ට් ශුරතාවලියේ ලකුණු සටහන අනුව පෙරමුණ ගැනීමට සමත්ව තිබෙනවා. ඒ, ප්‍රසාද ලකුණු 24ක් හිමිකර ගනිමින්. තරගයේ වීරයා සම්මානය දිනාගත්තේ, ධනංජය ද සිල්වා, තරඟාවලියේ වීරයා දඟපන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස්.

    මිකී ආතර්, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අවසන් තරගය ද මෙයයි.

    Latest News