ලොව දිනූ පැරාලිම්පික් ක්‍රීඩකයින් උණුසුම් පිළිගැනීම් මැද දිවයිනට (වීඩියෝ)

සැප් 07, 2021
  • ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී පදක්කම් හිමිකර ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මීට සුළු වේලාවකට පෙර දිවයිනට පැමිණියේය.

    ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ් විශේෂ උත්සවයක් ද සංවිධාන කර තිබිණ.

    පදක්කම්ලාභී ක්‍රීඩකයින් මෙරටට පැමිණියේ යූ එල් - 455 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන්. ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ එෆ් - 46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් සමග රන් පදක්කමක් හිමි කර ගැනීමට දිනේෂ් ප්‍රියන්ත සමත් විය.

    එෆ් - 64 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හිමි කර ගත්තේ සමිත දුලාන් ක්‍රීඩකයායි. ගුවන් තොටුපොළට ළගා වූ දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලය විසින් පිළිගෙන විශේෂ ප්‍රභූ පර්යන්තය වෙත කැදවා ගෙන එනු ලැබීය.

    ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබුවේ ඉන් අනතුරුවයි. රාජ්‍ය අමාත්‍ය තේනුක විධානගමගේ, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන්,ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසිංහ ජාතික ක්‍රීඩා සභාවේ සහ ජාතික පැරාලිම්පික් සංගමයේ සාමාජිකයින් ද ජයග්‍රාහී ක්‍රීඩකයින් පිළිගැනීමේ අවස්ථාවට එක්ව සිටියේය.

    අද උදෑසන ජපානයේ ටෝකියෝ සිට මෙරට බලා පිටත් වූ දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන්ට සුබ පැතුම් එක් කිරීම සඳහා එරට ගුවන් තොටුපොළට ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් එක්ව සිටියේය. ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය ඔවුන් දෙදෙනාට නවීන මෝටර් රථ දෙකක් ද එහිදී පරිත්‍යාග කර තිබේ. ජපානයේ ශ්‍රී ලංකා තානාපති සජිව් ගුණසේකර මහතා ද එම අවස්ථාවට එක්විය.

    මේ අතර 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ විධි විධාන අනූව ස්ථාපනය කර ඇති ජාතික ක්‍රීඩා සභාවේ පිළිගත් ජාත්‍යන්තර ක්‍රීඩා තරග ජයග්‍රහණය සඳහා මූල්‍යමය ත්‍යාග පිරිනැමීම සඳහා වන නිර්ණායකයන් අනූව මෙම ක්‍රීඩකයින්ට මූල්‍යමය ත්‍යාග පිරිනැමීමට තීරණය කළ බව අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ජාවේ දී ප්‍රකාශ කෙරිණ.

    Olimpic3 900px 21 09 07

    Olimpic2 900px 21 09 07

    Last modified on අඟහරුවාදා, 07 සැප්තැම්බර් 2021 19:31

    Latest News