මොහාන් සහ රවීන් ගෙන් ක්‍රීඩා ඇමතිට එරෙහිව පෙත්සමක්

පෙබ 15, 2019

    ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා භාරදුන් නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් යොමු කර තිබේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා භාරදුන් තම නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට ක්‍රිකට් බලධාරීන් ගෙන ඇති තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා මෙම රිට් පෙත්සම් ඉදිරිපත් කර ඇත. එය ලබන 20 දා සලකා බලන බව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිනි දීපාලි විජේසුන්දර සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල විසින් අද(15) නියෝග කර තිබේ.

    මොහාන් ද සිල්වා විසින් ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා සහ රවීන් වික්‍රමරත්න විසින් එම ආයතනයේ උප සභාපති ධුරය සඳහා තරග කිරීමට නාමයෝජනා ඉදිරිපත් කර ඇත. එහෙත් එම නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා තීන්දු කර ඇති අතර මෙසේ සිය නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය මුළුමනින්ම නීතියට පටහැනි බව ඔවුහු කියා සිටිති.

    එම නිසා ප්‍රතික්ෂේප කළ තමන්ගේ නාමයෝජනා යළි භාර ගෙන තමන්ට නිලවරණයට තරග කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසට නියෝගයක් ‍ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නිකුත් කරන මෙන් මෙම පෙත්සම්වලින් ඉල්ලා තිබේ.

    එමෙන්ම මෙම පෙත්සම් විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද එම පෙත්සම් වලින් ඉල්ලා තිබේ.

    මෙම අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් තම සේවාදායකයන් ගෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා කල් ලබාදෙන ලෙසයි.

    ඒ අනුව පෙත්සම සලකා බැලීම ලබන 20 දක්වා කල් තබන බව අභියාචනාධිකරණය නියම කර ඇත.

    Latest News