රග්බි ක්‍රීඩාව ඉහළට එසවීමට රු. මිලියන 226ක ආයෝජනයක්

දෙසැ 25, 2020

    නව වසරේදී මෙරට රග්බි ක්‍රීඩාව ඉහළට ඔසවා තැබීමේ අරමුණින් රුපියල් මිලියන 226ක දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය තීරණය කර ඇත.

    ලබන වසරේ පැවැත්වෙන ජාතික හා අන්තර්ජාතික තරගාවලි සඳහා මෙන්ම පළමු වරට රග්බි ක්‍රීඩා සමාජ සඳහා මූල්‍යමය ප්‍රතිපාදන පිරිනැමීමට ද සැලසුම් කරමින් මේ යෝජිත අයවැය වාර්තාව රග්බි ආයතනය විසින් පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශයට ඉදිරිපත් කරනු ලැබීය.

    පළාත් රග්බි සංවර්ධනය, පුහුණුවිම් සහ දැනුම බෙදා දීම, කාන්තා හා බාලිකා රග්බි සංවර්ධනය සහ රග්බි පරිපාලනය වෙනුවෙන් මේ මුදල් වැය කිරීමට අපේක්ෂා කරයි.

    ලබන වසරේ පෙබරවාරි මාසයේදී අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියක් පැවැත්වීමට කටයුතු යොදමින් කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය මාස 10කට ආසන්න කාලයක් අක්‍රිය වී තිබු මෙරට රග්බි ක්‍රීඩාව නැවත ආරම්භ කිරීම රග්බි ආයතනයේ අදහස වී තිබේ.

    කෙසේ වුවත් දැඩි සෞඛ්‍ය නීතිරෙගුලාසි මැද එම තරගාවලිය පැවැත්වීමට සිදුවන බැවින් ඒ සඳහා අතිරේක මුදලක් වැය කිරිමේ අභියෝගයට මුහුණදීමට ද රග්බි ආයතනයට සිදුවනු ඇත.

    ක්‍රීඩාව වෙනුවෙන් දැඩි කැපවීමෙන් යුතුව කටයුතු කරන ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ඉදිරි දැක්මට අනුකූලව කටයුතු කරමින් රග්බි ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කළ හැකි උපරිම කාර්යභාරය සිදු කිරීම තම අරමුණ බව ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉල්යාස් මහතා ප්‍රකාශ කරයි.

    කාන්තා හා පිරිමි ජාතික සංචිත ගොඩනඟමින් ක්‍රීඩාවේ දස්කම් ඉහළ දැමීමේ අරමුණින් රුපියල් මිලියන 127ක මුදලක් වැය කිරීමට රග්බි ආයතනය අපේක්ෂා කරයි.

    එමඟින් ක්‍රීඩකයන්ගේ ගිවිසුම් මුදල්, පුහුණුවීම් සඳහා වියදම්, පුහුණු කාර්ය මණ්ඩලයේ වියදම් සහ විදෙස් සංචාර සඳහා වියදම් පියවා ගැනීම අරමුණ වී තිබේ.

    Latest News