තවත් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 07ක් තහනම් කිරීම ගැසට් පත්‍රය ලඟදීම නිකුත් කිරීමට නියමිතව තිබේ.

වරක් භාවිතා කර ඉවත ලන තවත් ප්ලාස්ටික් නිෂ්පාදන 07ක් අප රටේ නිෂ්පාදනය, අලෙවිය හා බෙදාහැරීම තහනම් කිරීමට පසුගිය සතියේ රැස් වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව ඊට අදාල ගැසට් නිවේදනය නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලැබුනු වහාම නිකුත් කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (08) පරිසර අමාත්‍යංශයේ දී පැවැති සතිපතා මාධ්‍ය හමුව අමතමිනි.

මේ අවස්ථාෙව් දී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර...

"පසුගිය මාර්තු 31 සිට එක්වරක් පමණක් භාවිතා වන පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන 05ක් අපි තහනම් කළා. පරිසරයට විශාල විනාශයක් කළ සැෂේ පැකට් අපි එම ලැයිස්තුව යටතේ තහනම් කළා. දැන් වෙළෙඳපොළේ ග්‍රෑම් 20ට අඩු ආහාර හා ඖෂධ නොවන සැෂේ පැකට් අලෙවි කරන්නේ නැහැ. අදාල සමාගම් ඒවා නිෂ්පාදනය හා බෙදාහැරීම අත්හිටවනු ලැබ තිබෙනවා.

ඒ වගේම අගෝස්තු 01 සිට අපි පොලිතීන්වලින් නිෂ්පාදිත ලන්ච්ෂීට් තහනම් කළා. දැන් වෙළෙඳපොළේ තිබෙන්නේ දිරාපත්වන ලන්ච්ෂීට් පමණයි.

ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන භාවිතය පාලනය කිරීම සඳහා පරිසර අමාත්‍යංශය විසින් ගෙන යන ලද වැඩ පිළිවෙළෙ යටතේ එක්වරක් පමණක් භාවිතා වන තවත් නිෂ්පාදන වර්ග 07ක් තහනම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගිය සතියේ ලැබුනා. නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලද පසු ඊට අදාල ගැසට් නිවේදනය වහාම නිකුත් කරන්න අපි කටයුතු කරනවා.

amaraweera.jpg



ඒ අනුව (01) පානීය අවශ්‍යතා සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් බීම බට හා කළතනයන්, (02) ප්ලාස්ටික්වලින් නිපදවන ලද හැඳි, බීම කෝප්ප, පිහි, ගෑරුප්පු, (03) ප්ලාස්ටික් ඉඳි ආප්ප වට්ටි, (04) ප්ලාස්ටික් කෘත්රි ම තණ ඇතිරිළි, (05) පොලිතීන් මල්මාලා, (06) හඳුන්කූරු හා පහන්තිර ඇසුරුම් සඳහා පොලිතීන් යොදා ගැනීම, (07) 12X 05X 10 ප්‍රමාණයේ පොලිතීන්වලින් හා ප්ලාස්ටික්වලින් සකසන ලද ෙග්‍රාසරි බෑග් හා සිලි සිලි බෑග් ඒ අනුව තහනම් වෙනවා.

අපේ රටේ අවිදිමත් ලෙස පරිහරණය කරන එක් වරක් පමණක් භාවිතා කරන මෙම පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන නිසා දැවැන්ත පරිසර හානියක් සිදුවෙනවා. විශේෂයෙන් මේවායින් සියයට සියයක්ම නැවත එකතු කරන්නේ නැහැ. එක්කෝ ගිනි තබනවා. එහෙම නැත්නම් පරිසරයට බැහැර කිරීම නිසා අවසානයේ පානීය ජල මූලාශ්රැවලට හා සාගරයට එක්වෙනවා.

අද අපේ සාගරය හරියට මින් පෙර තිබු බේරේ වැව වගේ වෙලා. 2050 වනවිට සාගරයේ මසුන්ට වඩා පොලිතීන් හා ප්ලාස්ටික් වැඩි වෙයි කියළයි අන්තර් ජාතික සංවිධාන කියන්නේ. එමනිසා අප රටේ පරිසරය සුරක්ෂිත කිරීම සඳහා ගන්නා ලද මෙම පියවරයන් සඳහා සියලු දෙනාගේ සහයෝගය අවශ්‍යයි.

අපි මෙම තීරණ ගත්තේ අදාල සමාගම් සමග සාකච්ඡා කර ඉන් අනතුරුවයි. බොහෝ ආයතන දැනටමත් ස්වාභාවික ද්‍රව්‍ය උපයෝගී කර ගෙන විකල්ප නිෂ්පාදන ආරම්භ කර තිබෙනවා. මේ නිසා අභාවයට ගිය අපේ දේශීය නිෂ්පාදන කර්මාන්ත සඳහා නැවතත් අවස්ථාවන් සැළසෙමින් තිබෙනවා" යැයි ද අමාත්‍යවරයා පැවසීය.

පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ අරමුණින් මාර්තු මස 31 දින සිට ඒ ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබුණා.

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ උත්සව සමයේ එම ප්‍රදේශය පොලිතින්වලින් තොර කලාපයක් බවට නම්කර තිබේ.

පෙබරවාරි පළමුවැනිදා සිට සීගිරියට කිසිදු පොලිතීන් හා ප්ලාස්ටික් ද්‍රව්‍යවක් රැගෙන ඒම තහනම්.

Latest News