අයහපත් කාලගුණය තවදුරටත්; ජන ජිවිතයට බාධා

දෙසැ 22, 2019

    අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් තිස්පන් දහසක් පමණ පීඩාවට පත්ව සිටී.

    මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, පවතින වැසිසහිත කාලගුණය අද සහ හෙට තවදුරටත් වර්ධනය වන බවයි. ආපදා තත්වය හේතුවෙන් මේ වනවිට පවුල් දස දහසක් පමණ පීඩාවට පත්ව සිටී. ආරක්‍ෂිත ස්ථාන 120ක පමණ රඳවා සිටින පුද්ගලයින් දාහත් දහසක් පමණ. වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 3ක්. පූර්ණ නිවාස හානි 49ක් සහ අර්ධ නිවාස හානි 1017ක් වාර්තාවේ. මඩකලපුව සහ පුත්තලම දිස්ත්‍රික්කවල ආපදාවට මුහුණ දී සිටි 70 දෙනෙකු ඊයේ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය විසින් බේරා ගෙන තිබේ.

    වසර 5කට පසුව කවුඩුල්ල ජලාශය වාන් දැමීම ආරම්භ වී තිබේ. එහි දොරටු දෙකක් විවෘත කළ බව වාරිමාර්ග ඉංජිනේරුවරයා පවසයි. තත්පරයට ඝණ අඩි 300ක පමණ ජල ධාරිතාවක් නිකුත් කෙරේ.

    Kaudulla px 900 22 12 19

    අධික වැසි සහිත කාලගුණයත් සමඟ ගංගා පිටාර ගැලීමෙන් කතරගම පූජා භූමිය ද ජලයෙන් යටවී තිබිණ. හානි වී වෙළෙඳ සැල් සංඛ්‍යාව 156ක්. මෙම තත්වය නිරීක්‍ෂණය කිරීමට ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා ඊයේ එක්විය.

    ආනමඩුව, ගල්කිස්ස අමුණ පිටාර ගැලීමෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවිය. ගංවතුරට හසුවූ ජනතාව නාවික හමුදාව විසින් බේරා ගනු ලැබීය.

    හඟුරන්කෙත නායයාමක් හේතුවෙන් පවුල් 11ක පුද්ගලයින් එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.

    පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් මේ වනවිට විවෘතව පවතී. ඉන් තත්පරයට ඝන අඩි 1900ක් මුදා හැරෙන බව පොළොන්නරුව වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළේය. වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කොළඹ-මඩකලපුව ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම නිසා රථවාහන ගමනා ගමනයට බාධා එල්ලවිය.

    Parakkama px 900 22 12 19

    අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟ පිටාර ගැලීමෙන් ඓතිහාසික සෝමාවතිය පුදබිම ද ජලයෙන් යටවිය. එහි අඩි 10ක පමණ ප්‍රමාණයක් ජලය පිරී ඇති බව අප වාර්තාකරු පවසයි. ගංවතුරට හසුවූ වන අලින් ද පුදබිම ආසන්නයේ රැඳී සිටිනු දක්නට ලැබිණ.

    Somawathi px 900 22 12 19

    අනාරක්‍ෂිත තත්වය හේතුවෙන් දින දෙකක් වසා තැබුණු දුන්හිඳ දිය ඇල්ලට ප්‍රවේශවන මාර්ගය අද උදෑසන යළි විවෘත කෙරිණ. ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය කළ පරීක්‍ෂාවකින් අනතුරුවයි.

    මනම්පිටිය ප්‍රදේශයට බලපෑ ගංවතුරෙන් පීඩාවට පත්ව අවතැන් කඳවුරුවල සිටින පුද්ගලයින්ගේ සුවදුක් විමසීමට රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ රාත්‍රියේ එම ප්‍රදේශයට පැමිණියා. ඔවුන්ට වියළි ආහාර බෙදාදීම ද අමාත්‍යවරයා අතින් සිදු විය.

    අධික වර්ෂාව හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය 4ක් අවලංගු කර තිබේ. ඒ, කොටුව-මඩකලපුව සහ කොටුව-ත්‍රිකුණාමලය සේවායි. අද සවස ධාවනය වීමට නියමිතව තිබූ පොළොන්නරුව නගරාන්තර දුම්රිය ද අවලංගු කෙරිණ. මේ අතර, උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා පමණක් දුම්රිය ධාවනය කෙරේ.

    Latest News