බුද්ධි මෙහෙයුම් ශක්තිමත් කළ යුතුයි; අගමැති

දෙසැ 13, 2019

    පාස්කු ප්‍රහාරයට හේතුව බුද්ධි අංශ අකර්මණ්‍යවීම බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    වර්තමානයේ පවතින විවිධ ත්‍රස්ත උවදුරු මර්දනය සඳහා බුද්ධි මෙහෙයුම් ශක්තිමත් කළ යුතු බව, අග්‍රාමාත්‍යවරයා කියා සිටි. අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින්. උත්සවය නෙළුම් පොකුණ රඟහලේදී අද උදේ පැවැත්විණ. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ, අග්‍රාමාත්‍යවරයායි. විද්‍යාලයේ 13 වැනි පාඨමාලාව හැදෑරූ 157 දෙනෙකු මෙහිදී උපාධි ලබාගත්තේය. ත්‍රිවිධ හමුදාවේ 139 දෙනෙකු සහ විදෙස් ශිෂ්‍ය නිලධාරීන් 18 දෙනෙකු ඊට අයත් වූහ. ඔවුන් වසරක පාඨමාලාවක් හැදෑරූ අයවේ. උපාධි ප්‍රදානෝත්සවය ඇමතූ අග්‍රාමාත්‍යවරයා...

    “යුද, නාවික, ගුවන් බලය යොදා එල්ටීටීඊ සංවිධානයට එරෙහිව කළ යුද්ධයට වඩා වෙනත් යුද්ධයක් ඇති වී තිබෙන්නේ. ඊට එරෙහිව නව ක්‍රියාමාර්ගයක් ගත යුතුව තිබෙනවා. ඒ, බුද්ධි අංශ මෙහෙයුම් ශක්තිමත් කිරීමෙන්. අවාසනාවකට වගේ පසුගිය වසර 05 තුළ මෙරට බුද්ධි අංශ සම්පුර්ණයෙන්ම පාහේ අකර්මන්‍ය වුණා. බුද්ධි අංශ සාමාජිකයින්ට නඩු පැවරුණා. තාඩන, පීඩනවලට ලක්වුණා. සිරගතකළා. මේ තත්වය ඇතිවුණේ, බුද්ධි අංශවලට පමණක් නොවේ. යුද සමයේ ඉහළ හමුදා නායකයින්ටත් පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් ඔස්සේ අත්අඩංගුවට පවා පත්වුණා. ආරක්‍ෂක ලේකම්වරයා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීන් දෙදෙනෙක්. නාවික හමුදාපතිවරුන් සිව් දෙනෙක්, බුද්ධි අංශ ප්‍රධානියා, හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අවමානයට ලක්වුණා.

    ඇතැම් අය සිර බාරයට ලක්වුණා. මේවායින් බලාපොරොත්තු වුණේ, අපේ රටේ ජනතාව සහ අන්තර්ජාතික ප්‍රජාව අතර අපේ හමුදා, රණවිරුවන් නොව සොරුන් සහ මිනීමරුවන් ලෙසට පත්කරන්නයි. ලෝකයේ කිසිම රජයක් මේවගේ කරන්නේ නැහැ. මම මේ වෙලාවේ සියලු හමුදා ඉදිරියේ ප්‍රතිඥාවක් දෙන්න අවස්ථාවක් කර ගන්නවා. එනම් පසුගිය වසර 05 තුළ ඔවුන් මුහුණ දුන් අවමානයන් සහ අසාධාරණකම් නැවත නිවැරදි කරන බවට“ යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා සහ ආරක්‍ෂක ප්‍රධානීන් රැසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News