බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි තීන්දුව දේශපාලන පෙළඹවීමක්

දෙසැ 07, 2019

    බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍ය අධිකරණය දුන් තීන්දුව දේශපාලන පෙළඹවීමක් මත සිදු වූවක් බවත් විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.

    අදාළ තීන්දුව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන, විදේශ සබඳතා අමාත්‍යාංශය පවසන්නේ, බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සේවය කරන රාජ්‍ය ත්‍රාන්ත්‍රික නිලධාරියෙක් වන ප්‍රියංක ප්‍රනාන්දු මහතාට වියානා සම්මුතියට අනුව මුක්තිය හිමිවන බවයි.

    එමෙන්ම බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා නොමැතිව නඩු කටයුත්ත විභාග කිරීමත්, ඔහුට ඇති මුක්තිය නොසළකා හැරීමත්, බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට පෙර නඩු තීන්දුව ප්‍රකාශ කිරීම හරහා පෙනීයන්නේ, තීන්දුව පිටුපස දේශපාලන පෙළඹවීම් ඇති බවයි.

    2018 වසරේ පෙබරවාරි 04 වැනිදා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දක්වමින් උද්ඝෝෂණයේ නිරත පිරිසකට හස්ත සංඥා කරමින් තර්ජනය කළ බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව බ්‍රිගේඩියර් වෙස්ට්මිනිස්ටර් අධිකරණය හමුවේ නඩුවක් ගොණුකර තිබුණි.

    ඊයේ දිනයේ එහි තීන්දුව ලබාදෙමින් අධිකරණය නියෝග කර ඇත්තේ මහජන සාමය පනත උල්ලංඝනය කිරීමේ වරද වෙනුවෙන් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට පවුම් 2400 ක දඩ මුදලක් නියම කරන බවයි.

    මේ අතර අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේ අදාල දඩ මුදල රජය විසින් ගෙවිය යුතු බවයි.

    මේ අතර යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ බ්‍රිතාන්‍ය වෙස්මිනිස්ටර් අධිකරණයෙන් ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව ශ්‍රී ලංකා යුධ හමුදාව අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

     

    විදේශ සබඳතා අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනය

     

    මජුරන් සත්‍යානන්දන් එදිරිව බ්‍රිගේඩියර් ආඬිගේ ප්‍රියංක ඉඳුනිල් ප්‍රනාන්දුගේ නඩුව 2019 නොවැම්බර් 19 වැනි දින වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ දී අවසන් කරන ලද අතර, ඒ පිළිබඳ තීන්දුව 2019 දෙසැම්බර් 6 වැනි දින වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ලබා දෙන ලදී. ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් එක්සත් රාජධානියේ මහජන සාමය පිළිබඳ පනතේ 4අ වගන්තිය යටතේ තීන්දුව ලබා දී, පහළ මට්ටමේ සංකල්පීය මූල්‍ය දඬුවමක් නියම කළ නමුත්, වරෙන්තුවක් නිකුත් කිරීම සුදුසු යැයි නොසලකන ලදී. විත්තිකරු රාජ්‍ය තාන්ත්‍රික විනිර්මුක්තියෙන් ආරක්ෂාව නොලබන බවට මීට ඉහත දී තීන්දු කළ විනිසුරුවරිය, එම තීන්දුව පිළිබඳව නැවත සලකා බැලීමක් ද නොකළාය. නඩුව පිළිබඳ ක්‍රියාවලිය අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳ තර්කය ද ඇය විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

    ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සිටි රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස, 1961 රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියේ 31 වැනි වගන්තියට අනුව බ්‍රිගේඩියර් ප්‍රනාන්දු මහතාට රාජ්‍යතාන්ත්‍රික විනිර්මුක්තිය හිමිවන බව ශ්‍රී ලංකා රජය දිගින් දිගටම කියා සිටී.

    2019 ජනවාරියේ දී වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රථම වරට සිතාසි නිකුත් කළ අවස්ථාවේ දී, එවකට ශ්‍රී ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා විදේශ ලේකම්වරයා විසින් කැඳවනු ලැබූ අතර, බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ රාජ්‍යතාන්ත්‍රික විනිර්මුක්තිය නොසලකමින් චෝදනාවට ලක්වූ සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අධිකරණ මඟින් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව විරෝධය පළ කරන ලදී. එම අධිකරණය විසින් ජාත්‍යන්තර නීතිය පිළිබඳ වරදවා වටහා ගැනීම සහ විනිර්මුක්තිය ඉල්ලා ශ්‍රී ලංකා රජය විසින් එවන ලද රාජ්‍ය තාන්ත්‍රික සටහනේ අන්තර්ගතය එම අධිකරණයේ පරිපාලනය මඟින් මහේස්ත්‍රාත්වරයාගේ අවධානයට යොමු කිරීමට අතපසු වීම සම්බන්ධයෙන් සිදුව ඇති අඩුපාඩු නිවැරදි කිරීම සඳහා, වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය ඇතුළු ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහතික කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හරහා විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලයීය කාර්යාලය වෙත ඉල්ලීමක් කරන ලදී. මේ පිළිබඳව විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලයීය කාර්යාලය සමඟ තවදුරටත් කටයුතු කිරීමට ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියට ද උපදෙස් දෙන ලදී. මෙම අන්‍යෝන්‍ය බැඳීමට ගරු කරන ලෙස එක්සත් රාජධානියේ රජයෙන් ද ඉල්ලා සිටින ලදී.

    මෙහි දී සිතාසි පටිපාටිය නිසි අයුරින් සිදු නොකරන ලද බවත්, එය නැවත නඩු විභාගයකට තුඩු දුන් බවත් නඩු විභාගයේදී අධිකරණය විසින් පිළිගන්නා ලදී. පවතින සාක්ෂිවලට අනුව, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වූ පෙලපාලිකරුවන් විසින් මෙන්ම, අධිකරණයේ නඩු විභාගයේ දී වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දී විරෝධතා දැක්වූ පුද්ගලයින් විසින් ද එක්සත් රාජධානියේ තහනම් සංවිධානයක් වන එල්ටීටීඊ සංවිධානයේ ධජ භාවිතා කර තිබේ.

    මෙම සිදුවීම්වල අනුපිළිවෙල, එනම්, පුද්ගලික වශයෙන් නඩු පැවරීම, බ්‍රිගේඩියර් ප්‍රනාන්දු මහතාගේ රාජ්‍යතාන්ත්‍රික විනිර්මුක්තිය තහවුරු කිරීමට අපොහොසත් වීම, එක්සත් රාජධානියේ මැතිවරණය ආසන්නයේ ඇති මොහොතක දී තීන්දුව ලබා දීම, අධිකරණ නඩු විභාගය අතරතුර දී එල්ටීටීඊ ධජ ද රැගෙන සිටි පැමිණිල්ලේ ආධාරකරුවන්ගේ නොහික්මුණු හා බියගන්වනසුළු හැසිරීම පිළිබඳ චෝදනාව, පුද්ගලික වශයෙන් නඩු පැවරීම මඟින් විත්තිකරු විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද වරප්‍රසාදිත තොරතුරු පොදු මාධ්‍ය වෙත කාන්දු වීම පිළිබඳ චෝදනාව යන කරුණු තුළින් මෙය දේශපාලනික වශයෙන් පෙළඹවීමෙන් සිදු කරන ලද ක්‍රියාවක් බව මනා ලෙස පැහැදිලි වෙයි.

    Latest News