වෛද්‍ය සාෆි ගැන පැහැදිලි විමර්ශනයක් ඉල්ලා පොලිස් කොමිසමට පැමිණිල්ලක් (වීඩියෝ)

දෙසැ 03, 2019

    කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරමින් මව්වරුන්ට වඳ සැත්කම් කළ බව කියන මොහොමඩ් සාෆි සම්බන්ධ පැහැදිලි විමර්ශනයක් සිදුකරන ලෙස එම ප්‍රදේශයේ මව්වරුන් පිරිසක් අද ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.

    ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් තමන්ට සාධාරණයක් ඉටු නොවූ බව පවසමින්. වෛද්‍ය සාෆිට එරෙහිව, සැකසහිත ආකාරයෙන් වත්කම් උපයා ගැනීම ඇතුළු නීති විරෝධි ක්‍රියා රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. වඳ සැත්කම් සිදු කළ බවට ඔහුට එරෙහිව ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව දහසකට ආසන්නයි. කුරුණෑගල පොලිසියට ඒ සම්බන්ධයෙන් සහ තවත් පැමිණිලි රැසක් ලැබී තිබිණ. එහෙත් නීතියෙන් තමන්ට සාධාරණයක් සිදු නොවූ බවත් විමර්ශන කටයුතුවලට සම්බන්ධව සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතා ඒ සඳහා බලපෑම් එල්ල කළ බව මව්වරුන් පැවසුවාය.

    වෛද්‍ය මොහොමඩ් සාෆි චෝදනා රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවේ, ඉකුත් මැයි මස 24 වැනි දින. ඉන් අනතුරුව ඔහුට විරුද්ධව ඇති පැමිණිළි විමර්ශනයට සය පුද්ගල කමිටුවක් පත් කෙරිණ. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින්. එම කමිටුවේ අතුරු වාර්තාව ඉකුත් ජුලි මස 03 වැනි දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙත භාර දී තිබේ. කෙසේ වෙතත් පැවති රජය සමයේ ඇප මත නිදහස ලැබීමට සැකකාර වෛද්‍යවරයාට හැකිවිය. මේ සම්බන්ධයෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජාතික රූපවාහිනියට ප්‍රකාශයක් කරමින් කියාසිටියේ, වත්මන් රජය යටතේ හෝ අගතියට පත් මව්වරුන් වෙනුවෙන් සාධාරණ්‍යක් ඉටු කිරීමට බලධාරීන් පියවර ගත යුතු බවයි.

    Last modified on අඟහරුවාදා, 03 දෙසැම්බර් 2019 20:24

    Latest News