රටේ සංවර්ධන ක්‍රියාවලියට ආබාධ සහිත පුද්ගලයින් සහභාගි කරගත යුතුයි; ජනපති (වීඩියෝ)

දෙසැ 03, 2019

    ආබාධ සහිත තැනැත්තන් රටේ සංවර්ධන ක්‍රියාවලියට පූර්ණ ලෙස සහභාගි කරගත යුතු බව, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

    ආබාධ සහිත තැනැත්තන්ගේ අන්තර්ජාතික සැමරුම් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය. තමාගේත්, රජයේත් අපේක්‍ෂාව සෑම පුරවැසියෙකුගේම ජිවිතවල සෞභාග්‍යයේ අරුණලු උදාවනු දැකීම බව, ජනාධිපතිතුමා නිකුත් කළ නිවේදනයේ සඳහන්. එම ක්‍රියාවලියේ දී මෙරට වෙසෙන විවිධ ආබාධ සහිත ජනතාවගේ විශේෂ අවශ්‍යතා මෙන්ම, ඔවුන්ගේ කුසලතා හඳුනා ගනිමින් රටේ සාමාන්‍ය පුරවැසියන් ඉලක්ක කොට සිදුකරන සෑම සුබසාධන සහ සංවර්ධන ක්‍රියාදාමයකටම ආබාධ සහිත තැනැත්තන්ගේ සහභාගිත්වය ද තහවුරු කළ යුතුයි. ඒ සඳහා ඇති භෞතික හා ප්‍රතිපත්තිමය බාධා ඉවත් කළ යුතුය යන්න තමාගේ පිළිගැනීම බව ජනාධිපතිතුමා කියා සිටී. ආබාධ සහිත පුද්ගලයන් මුහුණ දෙන අභියෝග ජයගැනීමට අවශ්‍ය රැකවරණය සහ සහයෝගය ලබාදිය යුතුයි. අයිතිවාසිකම් ආරක්‍ෂා කරන සමාජයක් තුළ සෑම පුද්ගලයෙකුම ප්‍රතිලාභ ලබන බව, ජනාධිපතිතුමා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    ශ්‍රී ලංකාවේ විවිධ ආබාධ සහිත පුද්ගලයින් ලක්‍ෂ 15කට ආසන්න පිරිසක් ජීවත් වේ. ඔවුන්ට අවශ්‍ය සහන සැලසීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සමයේ ආරම්භ කෙරිණ. ඒ ආබාධිත පවුල් සඳහා රුපියල් 3000ක මාසික දීමනාවක් ලබාදීම සමඟයි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ද රට හදන සෞභාග්‍යයේ දැක්ම තම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් සමාන ජීවන අවස්ථා පුළුල් කරදීමේ අරමුණින් වැඩපිළිවෙළ රැසක් ඉදිරිපත් කර තිබේ. ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාත්‍යන්තර දිනය සැමරීමේ ප්‍රධාන උත්සවය මහරගම ජාතික තරුණ සේවා ශ්‍රවණාගාරයේදී අද (03) පැවැත්විණ. ඒ, සමාජ ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිධාන කළ ආබාධිත දින සැමරුම් උත්සවය පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණ.

    Last modified on අඟහරුවාදා, 03 දෙසැම්බර් 2019 20:23

    Latest News