පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා රටින් පිටවිම ගැන CIDයෙන් වාර්තාවක් ඉල්ලයි

නොවැ 25, 2019

    පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා අනවසරයෙන් විදෙස් ගතවීම විනය විරෝධී බැවින් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි, පොලිස් මූලස්ථානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස රාජකාරී කරන පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා නිලධාරියා ඊයේ (24) දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් විදේශ ගතවී ඇති බවට තහවුරු වී තිබේ.

    තවද පොලිස් නිලධාරියෙකු රාජකාරී හෝ පෞද්ගලික කරුණක් මත විදේශගත වන්නේ නම්, අමාත්‍ය ලේකම්තුමාගේ අනුමැතිය අනිවාර්ය වේ. නමුත් මෙම පොලිස් පරීක්ෂක නිලධාරියා මෙලෙස විදේශගතව ඇත්තේ කිසිඳු අනුමැතියකින් තොරවයි.

    එමෙන්ම මෙම නිලධාරියා සම්බන්ධයෙන් වන විට, පසුගිය වසර හතරක පමණ කාලය තුළ සිදුකළ විමර්ශනයක් පක්ෂග්‍රාහීම සහ අයුක්ති සහගත ලෙස සිදුකළ බවට නොයොකුත් පාර්ශවයන්ගෙන් මෙම නිලධාරියාට එරෙහිව යම් යම් දෝෂාරෝපණයක් එල්ල වූ අතර, එමෙන්ම ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයන් පවත්වන ලෙසට නොයෙකුත් පාර්ශවයන් ඉල්ලා සිටින වාතාවරණයක් තුළ මෙලෙස මෙම නිලධාරියා අනුමැතියකින් තොරව විදේශගතව තිබේ. තව ද මෙම නිලධාරියාවට විරුද්ධව කිසිඳු ආකාරයක විමර්ශනයක් හෝ විනය ක්‍රියාමාර්ගයක් මේ දක්වා ආරම්භ කර නොමැති අවස්ථාවක දී ඔහු මෙලෙස විදේශගතව ඇති බව වැඩිදුරටත් නිරීක්ෂණය වේ.

    කෙසේ නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක, විශේෂ විමර්ශන කිහිපයක් භාරව සිටි ස්ථානාධිපතිවරයෙක් මෙලෙස කිසිඳු අවසරයකින් තොරව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් විදේශගත වීම බරපතල ගැටලුවක් බැවින් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කර කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට පොලිස් මූලස්ථානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත අද (25) දැනුම් දී තිබේ. එමෙන්ම මෙම පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා නිලධාරියා අනවසරයෙන් විදේශගතවීම විනය විරෝධී ක්‍රියාවක් බැවින්, එම ක්‍රියාව සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිතයි.

    Last modified on සදුදා, 25 නොවැම්බර් 2019 11:36

    Latest News