රාජ්‍ය ආයතන තුළ ජනපතිගේ ඡායාරූපය වෙනුවට රාජ්‍ය ලාංඡනය (වීඩියෝ)

නොවැ 18, 2019

    රාජ්‍ය ආයතන තුළ ජනාධිපතිතුමාගේ ඡායාරූපය වෙනුවට ශ්‍රී ලංකා ජනරජ ලාංඡනය ප්‍රදර්ශනය කර තිබෙනු දක්නට ලැබිණ.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ද ජනාධිපතිතුමාගේ ඡායාරූපය වෙනුවට ජනරජ ලාංඡනය ප්‍රදර්ශනය කෙරේ. 1972 වසරේ මැයි 22 වැනි දින අනුමත වූ ශ්‍රී ලංකා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනරජ ලාංඡනයට අනුව වේදිකාවක් බදු කොටසින් ශ්‍රී ලංකා ධරණීතලය නිරූපනය කෙරේ. පුන් කළස, පිරිපුන් බවත්, වී කරල් මගින් ස්වයංපෝෂිත බවත්, විද්‍යාමාන වේ. ඉර, හඳ පවතිනා කල් මාතෘභූමිය රැකේවා යන්න වම් පස චන්ද්‍රයාත්, දකුණු පසින් සූර්යාත් සංකේතවත් කිරීමේ අරමුණයි. නෙළුම් මල පවිත්‍රත්වය සංකේතවත් කරන අතර කඩුවක් දකුණු පාදයෙන් දරා සිටින සිංහයා, සිංහල ජාතිය සංකේතවත් කරයි. මධ්‍යයේ ඇති කුඩා නිල් පැහැ පසුබිමෙන් නිරූපණය කෙරෙන්නේ, අන්‍ය ජාතීන් ද රටෙහි ජිවත්වන බවයි. ධර්ම චක්‍රයෙන් උතුම් ශ්‍රී සද්ධර්මය නිරූපිතයි. ස්වයංපෝෂිත වූ සංස්කෘතියකින් හෙබි එඩිතර සිංහල ප්‍රෞඩ ජාතිකයන් අන්‍ය ජාතීන් සමඟ සහජීවනයෙන්, සමානාත්මතාවෙන් ශ්‍රී සද්ධර්මය රකිමින් ලක් දෙරනේ ජීවත් වනවා යන්න සමස්ත රාජ්‍ය ලාංඡනයේ අර්ථයයි.

    කලා භූෂණ, පුරා විද්‍යා චක්‍රවර්ති දිවංගත එස්.එම්.සෙනෙවිරත්න මහතා මෙහි නිර්මාතෘවරයා වන අතර, ඔහු හිටපු පුරාවිද්‍යා සහකාර කොමසාරිස්වරයා ද වේ.

    Last modified on සදුදා, 18 නොවැම්බර් 2019 20:37

    Latest News