ගලගොඩඅත්තේ ඥාණසාර හිමිගේ අධිකරණ අපහාස චෝදනා සලකා බැලීමට දින නියමවේ

නොවැ 08, 2019

    අධිකරණයට අපහාස චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහි පෙත්සම සලකා බැලීම සඳහා පෙබරවාරි 17 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කළේය.

    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබිණ.

    පෙත්සමේ වගඋත්තරකරුවන් වන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, මුලතිව් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයේ පෙනී සිටියේය. එහිදී මෙම නඩුවේ වග උත්තරකරුවන්ට සිතාසි නිකුත් කරන්නේද? නැද්ද? යන්න තීන්දු කිරීම සඳහා පෙත්සම සලකා බැලීම අවශ්‍ය බව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියහ.

    ඒ අනුව පෙබරවාරි මස 17 වනදා පෙත්සම සලකා බැලීමට පියවර ගන්නා බව අභියාචනාධිකරණය නිවේදනය කළේය. එදින අධිකරණයට සහයවීමට පෙනී සිටින ලෙස දන්වා නීතිපතිට නොතීසි නිකුත් කරන ලෙසද විනිසුරු මඩුල්ල විසින් අභියාචනාධිකරණයේ ලේඛකාධිකාරී වරයාට නියම කළේය.

    එදින අධිකරණයේ පෙනී සිටින ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු වගඋත්තරකරුවන් තිදෙනාට නියම කෙරිණ. පොලිස් නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් නීතිපති පෙනී නොසිටින බැවින් පුද්ගලික නීතිඥ සහාය ලබා ගන්නා ලෙස විනිසුරු මඩුල්ල ඔවුන්ට දැනූම දුනි. මුලතිව් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්තිනි ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

    ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන උත්සවය එම විහාර භූමියේ නොපවත්වන ලෙස දන්වමින් මුලතිව් අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් තහනම් නියෝග කර තිබූ බව ඇය පෙත්සමෙන් කියා සිටි. එම තහනම් නියෝගය උල්ලංඝනය කිරිමෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, මුලතිව් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට අපහාසයක් කර ඇති බව චෝදනා කරමින් මෙම පෙත්සම ගොනුකර තිබේ.

    Latest News