මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හංගලා හෝ හොරෙන් කිරිමක් නැහැ; පාඨලී

නොවැ 05, 2019

    මේ වනවිට ජනතාවට විවෘත කර ඇති මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමකින් තොරව හදිසියේ අත්සන් කිරීමේ අවශ්‍යතාවක් නැතැයි රජය අවධාරණය කරයි.

    එය සිදු කෙරෙන්නේ විනිවිද පෙනෙන ක්‍රියාවලියකින්. සජිත් සමාජ විප්ලවය ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඒ ගැන පුළුල් පැහැදිලි කිරීමක් කළේය. ගිවිසුම පිළිබඳ අදහස් දැක්වීමට ජාතික හිමිකම් සංවිධානය ද අද මාධ්‍ය හමුවක් කැඳවා තිබිණ.

    එහිදී අදහස් දැක්වූ බෙංගමුවේ නාලක හිමි...

    අමෙරිකාව සමඟ අත්සන් තබන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම මේවා විනිවිද භාවයෙන් තොරයි. අත්සන් කිරීමට අත්‍යවශ්‍යම දෙයක් තමයි භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අනුමැතිය. මේ අනුමැතිය ජනාධිපතිගේ අත්සනින් ගන්න ඕනේ. ජනාධිපතිගේ අනුමැතිය නැතුව තමයි මේක අනුමත කරලා තියෙන්නේ. ගිවිසුම් කියන ඒවා රටට අහිතකර තමයි හැමදාම සිදුවෙලා තියෙන්නේ. හිතකර වගේ පෙන්නලා අන්තිමේ දී ගිවිසුම් කඩලා අපට එරෙහිව මෙරට සූරාකෑම සඳහා ගිවිසුම් ගහපු මිනිස්සු ක්‍රියාත්මක වෙලා තියෙනවා“ යැයි පුජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පැවසූහ.

    ආචාර්ය නලින් ද සිල්වා මහතා...

    “අපි ඉල්ලා හිටින්නේ ජනතාවගෙන් මේ ජනාධිපතිවරණය මේ ගිවිසුම අහෝසි කරන්නාවු එකක් බවට පත්කිරීම සඳහා ජනමත විචාරණයක් යොදාගෙන. ජනාධිපතිවරණය ප්‍රකාශ කරපු දිනයේ සිට මේ රටේ පවතින්නේ නැවතත් ජනාධිපති කෙනෙක් දිවුරුම් දෙනතුරු පවතින්නේ භාරකාර ආණ්ඩුවක්. භාරකාර ආණ්ඩුවකට මේ වගේ ගිවිසුම් අත්සන් කරන්න කිසිම අයිතියක් නැහැ“ යැයි ආචාර්ය නලින් ද සිල්වා මහතා පැවසීය.

    මෙහිදි අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා...

    “අපි ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුවක්. ඒනිසා මේ විශේෂිත ගිවිසුම දැන් ජනතාවට විවෘතයි. මොකවත් හංගලා නැහැ. රාජපක්‍ෂ ආණ්ඩුව 2007 දී අක්සා කියලා අමෙරිකාවත් එක්ක ගහපු ආරක්‍ෂක ගිවිසුම වගේ කැබිනට් මණ්ඩලයටත් හංගලා, පාර්ලිමේන්තුවට හංගලා ගෝඨාභය රාජපක්‍ෂ සහ ඒ අවස්ථාවේ අමෙරිකානු තානාපතිතුමා. අපි එහෙම කරන්නේ නැහැ. මේක දැනට ජනතාවට පත්කරලා තියෙනවා. ඊළඟට අපි මේක පාර්ලිමේන්තුවට දානවා. ඕනෑම කෙනෙකුට මේ සම්බන්ධයෙන් අධිකරණයට යන්න පුලුවන්. රටේ ව්‍යවස්ථාවට අනුකූලද, රටේ නීතියට හිතකර නැද්ද යන්න පිළිබඳ බලගතු සංවාදයකින් පස්සේ තමයි අපි ඒක අත්සන් කරන්නේ. කඩිමුඩියේ අත්සන් කිරිමේ කිසිම අදහසක් නැහැ ආණ්ඩුවට. හැබැයි අපි එකක් බොහොම පැහැදිලිව කියනවා. එය ජනතාව දැනගත යුතුයි. ඒ පිළිබඳව තියෙන මේ පට්ටපල් බොරු අසත්‍ය ප්‍රචාරවලට නම් රැවටෙන්න එපා. මේ රටේ ජනතාවට අත්‍යවශ්‍ය කාරණා දෙකක්. ප්‍රවාහනය හා මාර්ග පද්ධතිය සම්බන්ධයෙනුත් ඉඩම් පිළිබඳව ඔප්පු තිරප්පු ආදි නිර්මාණය කිරිම සම්බන්ධවත් වැදගත් පියවර දෙකක් තමයි එළඹිලා තියෙන්නේ. ඇත්තටම අපේ රජය එයට ලැබෙන ප්‍රධානයක්. ඒක ක්‍රියාත්මකවීම පිළිබඳව ගැටලු තියෙනවානම් අපිත් එක්ක සාකච්ජා රටේ නීතියට ව්‍යවස්ථාවට අනුකූලව කරන්න පුලුවන්“ යැයි චම්පික රණවක මහතා පැවසීය.

    Latest News