අයහපත් කාලගුණයෙන් ජන ජිවිතයට බාධා (වීඩියෝ)

ඔක් 30, 2019

    අයහපත් කාලගුණය හේතුවෙන්, සිදුවීමට ඉඩ ඇති ආපදා තත්වයට මුහුණ දීමට මේ වනවිටත් පියවර ගෙන ඇතැයි අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මාතර, මුලටියන අධ්‍යාපන කලාපයේ පාසල් හෙට දිනයේ ද වසා තැබෙනු ඇති. අයහපත් කාලගුණය හේතුවෙන් අද දිනයේ ද දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ජන ජිවිතයට බාධා එල්ල විය.
    නිල්වලා ගඟේ අත් ගංගාවක් වන “කිරම ආර“ ඔය පිටාර ගැගීමෙන් මාර්ග කිහිපයක් ජලයෙන් යටවිය. නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් මාර්ග කිහිපයක් ජලයෙන් යටවිය. තිස්සමහාරාම ප්‍රදේශයේ නිවාස කිහිපයක් ද ජලයෙන් යටවිය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර හා මව්ආර ජලාශ හැර අනෙකුත් සියලුම ජලාශ වාන් දමමින් පවති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය ජලාශය, බදුල්ල දිස්ත්‍රික්කයේ අඹේවෙල හා කන්දෙඇල ජලාශ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුඔය හා මාදල්ල යන ජලාශ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ තබ්බෝව යන ජලාශ මේ වනවිට තවදුරටත් වාන් දමමින් පවතී. අයහපත් කාලගුණයෙන් ඔක්තෝබර් 10 වැනිදා සිට මේ දක්වා දිස්ත්‍රික්ක 21ක පවුල් 13,135කට බලපෑම් එල්ල වී ඇති අතර, නිවාස 20කට සම්පූර්ණ හානි සිදුව තිබේ. අර්ධ හානි සිදුව ඇති නිවාස ගණන 1,193ක්.

    Weather px 900 30 10 19

    මේ අතර, ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. සවස 1.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර පළාතේ පුත්තලම, මන්නාරම සහ යාපනය යන දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශයන්හි උදේ කාලයේ සිහින් වැසි ඇති විය හැක. උතුරු මැද, නැගෙනහිර, ඌව, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, වවුනියාව, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට තරමක තද වර්ෂාපතනයක් ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං තත්වයක් හටගනු ඇත.

    අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් බවට පත්ව දිවයිනට බටහිර දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශයේ පවතින අතර, එය තවදුරටත් දිවයිනේ ඈතට ගමන් කරන බව කාලගුණ නිවේදනයේ දැක්වේ. හෙට දිනයේ ද දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Last modified on බදාදා, 30 ඔක්තෝබර් 2019 21:49

    Latest News