ISIS නායකයාට එරෙහි අමෙරිකානු මෙහෙයුමට අගමැති රනිල්ගේ සුභපැතුම්

ඔක් 29, 2019

    අයි.එස්. කල්ලි නායක අබුබකර් අල් බැග්ඩෑඩ්ට එරෙහිව සිදු කළ සාර්ථක මෙහෙයුම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට සහ එරට සන්නද්ධ හමුදාවන්ට සුබපතන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

     

    ඊයේ නිකුත් කළ විශේෂ පණිවුඩයක් මගින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. වයඹ දිග සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේ ඉකුත් සෙනසුරාදා සිදු කෙරුණු සාර්ථක මෙහෙයුම අයි.එස්. කල්ලිය දුර්වල කිරීමටත් ලෝකය වඩාත් සුරක්‍ෂිත ස්ථානයක් බවට පත් කිරීමටත් හේතුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. මෙය ලොව දරුණුතම ත්‍රස්තාදියෙකුට එරෙහිව සිදු කළ සාර්ථක මෙහෙයුමක් ලෙස සැලකේ. ශ්‍රී ලංකාව ද ලොව දරුණුතම ත්‍රස්තවාදී කල්ලියක් වන එල්ටීටීඊ සංවිධානයට එරෙහිව 30 වසරක් පුරා සටන් වැඳුණු බව අගමැතිවරයා මෙහිදී සිහිපත් කර තිබේ. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය හා සාමාන්‍ය ජන ජිවිතයට ත්‍රස්තවාදයෙන් එල්ලවන බලපෑම පිළිබඳව ශ්‍රී ලාංකිකයන්ට ඉතා හොඳ අවබෝධයක් ඇති බව, වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීමට අමෙරිකානු රජය ලබාදුන් සහය කෘතවේදීව සිහිපත් කරන අග්‍රාමාත්‍යවරයා ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීම වැළැක්වීම හා අවි තහනම ඇතුළු ක්‍රියාකාරකම් ශ්‍රී ලංකා රජයේ හා ජනතාවගේ ගෞරවාදරයට පාත්‍රවන බව ද සඳහන් කර තිබේ.

    Latest News